මාගේ ස්වාමිපුරුෂයා වන ඩෑන්ට පිළිකාවක් ඇති බව දැනගත් විට ඔහුව සුව කරන්න කියා යාච්ඤා කිරීමේ හරිමග මම දැන නොසිටියෙමි. මාගේ සීමාසහිත දැක්ම අනුව ලෝකයේ අන් අයටද යුද්ධ, සාගත, දරිද්‍රතා, ස්වභාවික ආපදා යනාදි ගැටළු ඇතැයි මට සිතුණි. නුමුත් එක් උදෑසන යාච්ඤා කාලයකදී මගේ ස්වාමි පුරුෂයා යටහත් කමින් යුතුව “ආදරණීය ස්වාමිනි, මාගේ රෝගය සුව කරන්න” කියා කියනවා මට ඇසුණි.

එය ඉතා සරල සිත් කාවදින ඉල්ලීමක් විය. එය මට මතක් කළේ සෑම යාච්ඤා ඉල්ලීමක්ම සංකීර්ණ කළ යුතු නැති බවයි. ඊට හේතුව උපකාර සඳහා අපගේ ධර්මිෂ්ඨ මොර ගැසීම දෙවියන්වහන්සේ අසන නිසාය. දාවිත් සරළ ලෙස කීවේ “ස්වාමිනී හැරී මාගේ ප්‍රාණය නිදහස් කළ මැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුව මැනව” (ගීතාවලිය 6:4) යනුවෙනි.

ආත්මික වියවුල් ස්වභාවයක සහ බලාපොරොත්තු සුන්වූ මොහොතක දාවිත් ප්‍රකාශ කළේ එයයි. ඔහුගේ නියම තත්ත්වය මේ ගීතිකාවේ සඳහන් වී නැත. කෙසේ වෙතත් ඔහුගේ අවංක කන්නලව්ව දිව්‍යමය උපකාරයට සහ ප්‍රතිෂ්ඨාපනයට ඇති ගැඹුරු ආශාව පෙන්නුම් කරයි. “මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි” යනුවෙන් ඔහු ලියයි (6 පදය).

ඔහුගේ අවශ්‍යතාවයේදී දෙවියන්වහන්සේ වෙතට යාම නැවැත්වීමට පාපය ඇතුළු ඔහුගේ සීමාවන්ට දාවිත් ඉඩ දුන්නේ නැත. ඒ හෙයින් දෙවියන්වහන්සේ පිළිතුරු දීමට පෙරම දාවිත්ට ප්‍රීතිවීමට හැකි වුනි. “ස්වාමින්වහන්සේ මාගේ කන්නලව්ව ඇසූ සේක. ස්වාමින්වහන්සේ මාගේ යාච්ඤාව පිළිගන්නා සේක” (8-9 පද) යයි ඔහු ලියයි.

අපගේ වියවුල් කම සහ අවිනිශ්චිතභාවය මධ්‍යයෙහි දෙවියන්වහන්සේ තම දරුවන්ගේ අවංක ආයාචනාවලට ඇහුම්කන් දෙන සේක. උන්වහන්සේ අපට සවන් දීමට සූදානම්ය. ඒ විශේෂයෙන්ම අපට උන්වහන්සේව වඩාත්ම අවශ්‍ය වේලාවන් වලදීය.