1944 නත්තල් සන්ධ්‍යාවේ වයසක යකඩයා යන නමින් හැඳින්වූ මිනිසෙකු සිර ගෙදර ආරෝග්‍යශාලාවේ මිය යමින් සිටියේය. හවුල් සිරකරුවන් පවත්වන නත්තල් මෙහෙය ඔහු බලාපොරොත්තු විය. “සංගීතය ආරම්භ කරන්නේ කීයටද?” ඔහු විලියම් මැක්ඩගල්ගෙන් ඇසුවේය. විලියම්ද ඔහු සමග සුමාත්‍රාහි මුන්ටොක් සිර ගෙදර සිරකරුවෙක් විය. “ඉක්මණට” විලියම් කීවේය. “ඒක හොඳයි” මිය යන මිත්‍රයා කීවේය. “ඒක දේව දුතයන්ගේ සංගීතය සමග මට සංසන්දනය කරන්න පුළුවන්”.

දශක කිහිපයකට පෙර යකඩයා ඇදහිල්ලෙන් ඉවත්ව ගියද මිය යාමට පෙර තම පව් කියාදී උන්වහන්සේගේ සමාදානය නැවත ලබා තිබුණි. දුක්බර මුහුණකින් අන් අය දෙස බලා නොසිට ඔහු සිනහවකින් යුක්තව සිටියේය. “විශාල වෙනසක්” මැක්ඩගල් පැවසීය.

“නිසල රෑ” නමැති ගීතය සිරකැරවන් එකොළොස් දෙනෙක් ගායනා කළ පසු යකඩයා මිය ගියේය. ඔහු නැවත යේසුස්වහන්සේ අනුගමණය කර දෙවියන්වහන්සේ සමග ස්වර්ගයේ එක්වී සිටින බව දැන මැක්ඩගල් ප්‍රකාශ කළේ “සමහර විට මරණය නත්තලේදී යකඩයා වෙත පැමිණි හොඳ අමුත්තෙකි” කියාය.

යකඩයා මරණය බලාපොරොත්තු වී සිටීම මට මතක් කළේ සිමියොන්වය. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූ සිමියොන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ එළිදරව් කර තිබුණේ “ස්වාමින්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය” (2:26 පදය) යනුවෙනි. සිමියොන් යේසුස්වහන්සේව මාළිගාවේදී දුටුවිට ඔහු පැවසුවේ “ස්වාමින්වහන්ස, දැන් …. ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරින සේක. මක්නිසාද … ගැළවීම මාගේ ඇස්වලින් දුටීමි” (29-30 පද) කියාය.

යකඩයා සමග අපට ලැබිය හැකි හෝ බෙදා දිය හැකි හෝ ශ්‍රේෂ්ඨතම නත්තල් ත්‍යාගය යේසුස්වහන්සේ තුළ ගැළවීමේ ඇදහිල්ලය.