“මම ඔයාට තෑග්ගක් ගෙනාවා” මාගේ දෙහැවිරිදි මුණුපුරා මාගේ අතෙහි පාර්සලයක් තබමින් සතුටින් කෑ ගැසුවේය. “ඒක තෝර ගත්තේ එයාමයි” මාගේ භාර්යාව සිනහසෙමින් කීවාය.

තෑග්ග මම දිග හැරියෙමි. ඔහු ආශා කරන කාටුන් චරිතයක සෙල්ලම් භාණ්ඩයක් එහි තිබුණි. “මාත් බලන්නද” ඔහු ඇසුවේය. ඉන්පසු මුළු සන්ධ්‍යාවම ඔහු එය සමග සෙල්ලම් කළේය. මම ඒ දෙස බලා සිනහසිමි.

මම සිනහසුණේ මා ප්‍රියයන්ට දුන් ත්‍යාග මට මතක් වූ නිසාය. එක් නත්තලකදී මාගේ අයියාට සංගීත ඇල්බමයක් තෑගි ලෙස දුන්නෙමි. ඒ මා උසස් පාසැලේ සිටින කාලයේදීය. මා එය ඇසීමට ඉතා ආශා වීමි. වැඩිපුරම ඇසුවේ මමය. පසු කාල වලදී වඩාත් පරාර්ථකාමීව දෙන පිණිස දෙවියන්වහන්සේ මාව උපරිමයෙන් භාවිතා කරනවා මට තේරුම් ගියේය.

දීම යනු අප තුළ වර්ධනය වන ක්‍රියාවලියකි. පාවුල් ලීවේ “ඉදින් නුඹලා සියලු දෙයින් …… අධිකව සිටින්නාක් මෙන් මෙම අනුග්‍රහයෙන්ද අධිකවන්ට බලා ගන්න” (2 කොරින්ති 8:7) යනුවෙනි. අප වෙත ඇති සියල්ල දෙවියන්වහන්සේගෙන් බව අප තේරුම් ගත් විට අපගේ දීම අනුග්‍රහයෙන් පූර්ණ වේ. උන්වහන්සේ අපට පෙන්වා ඇත්තේ “ගැනීමට වඩා දීම ආශිර්වාදයකැයි” (ක්‍රියා 20:35) කියාය.

දෙවියන්වහන්සේ ත්‍යාගවන්තව වඩාත් පරාර්ථකාමී තෑග්ග අපට දුන් සේක. ඒ අපගේ පාප වෙනුවෙන් කුරුසියක මිය ගොස් නැවත ජීවනයට උත්ථාන වූ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාය. යම් අයෙකු එම තෑග්ග පිළිගන්නා විට මැණිය නොහැකි තරමට ඔව්හු ධනවත් වෙති. අපගේ සිත් උන්වහන්සේ කෙරෙහි යොමුවන විට අපගේ දෑත් ප්‍රේමයෙන් අන් අය වෙත දිගුවේ.