බීජයක් වත්තට වීසිකර පැලවෙන්නේ කුමක්දැයි බැලීමට දරුවන්ට හැකි විය යුතුය. එසේ කියන්නේ පුෂ්ප පුරය ආරම්භ කළ රෙබෙකා ලේමොස් ඔටෙරෝය. මෙය යහපත් වතු පාලන ක්‍රමයක් නොවූවද ඉන් පෙන්වන්නේ බීජයකට ජීවනය ඉස්මතු කළ හැකි බවයි. 2004 සිට පුෂ්ප පුරය අඩු ආදායම් පළාත්වල පාසැල් සහ ඒ අවට මල්වතු ආරම්භ කර තිබේ. දරුවෝ පෝෂණය සහ රැකියා අවස්ථා ගැන එම වතුවලින් ඉගෙන ගනිති. “නගරබද පෙදෙසක හරිත වර්ණ ඉඩක් තිබීම දරුවන්ට පිටතට අවුත් ඵලදායී අලංකාර යමක් කිරීමට අවස්ථාව දෙයි” කියා රෙබෙකා කියයි.

වැපුරුවාට වඩා සියයට සියයක ප්‍රතිශතයක් දිය හැකි බීජ වැපිරීමක් ගැන යේසුස්වහන්සේ කී සේක (ලූක් 8:8). එම බීජය නම් සරු පොළොවක වපුරන ලද දෙවියන්වහන්සේගේ ශුභාරංචියයි. උන්වහන්සේ එය විස්තර කරන්නේ “සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා තදින් අල්ලාගෙන ඉවසීමෙන් ඵල දරන්නෝය” කියායි (15 පදය).

අපට ඵල දැරිය හැකි එකම ක්‍රමය උන්වහන්සේට සම්බන්ධව සිටීම බව යේසුස්වහන්සේ කී සේක (යොහන් 15:4). යේසුස්වහන්සේට අප ඇලී ගැලී සිටින විට අප තුළ උන්වහන්සේගේ ඵල වන “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම” (ගලාති 5:22-23) යන දේවල් අපි ලබා ගනිමු. උන්වහන්සේ අප තුළ නිපදවන ඵලය අන් අය ස්පර්ශ කිරීමට උන්වහන්සේ භාවිතා කරන සේක. ඔවුන්ද එවිට වෙනස් වී ඵල දරණු ඇත. එය අලංකාර ජීවිතයක් වන්නේය.