“අවුරුදු කිහිපයකට පෙර ඔයා ගැන යාච්ඤා කරන්න මට පෙළඹවීමක් ආවා. ඇයි කියලා මම දන්නේ නැහැ”.

මාගේ පැරණි මිතුරියගේ එම විද්‍යුත් පණිවුඩය සමග ඇයගේ බයිබලය තුළ තිබූ සටහනක් ඡායාරූපයක්ද සහිතව මට ලැබුණි. එහි “ජේම්ස් ගැන යාච්ඤා කරන්න. මනස, සිතුවිලි සහ වචන ගැන” යනුවෙන් ඇය ලියා තිබුණි. එහි පසුපස මාගේ නම ඉදිරියෙන් වසර තුනක් වෙනම සඳහන් වුනි.

එම වසර ගැන කල්පනා කරන විට මම මවිත වීමි. ඇය යාච්ඤා කිරීමට ආරම්භ කළේ කවර මාසයේදීද කියා මම ඇගෙන් ලියා ඇසීමි. “ජූලි මාසයේ පමණයැයි” ඇය පිළිතුරු එව්වාය.

ඉගෙනිම සඳහා සෑහෙන කාලයකට විදේශයකට යාමට මම සුදානම්වූ මාසය එය විය. මට වෙනත් සංස්කෘතියකට සහ භාෂාවකට මුහුණ දෙන්න සිදුවනු ඇත. කිසිදා නොවූ විරූ ලෙසට මාගේ ඇදහිල්ල අභියෝගයට ලක්වනු ඇත. එම සටහන දෙස බලද්දී යාච්ඤාව නැමැති ත්‍යාගශීලි තෑග්ග මට ලැබී ඇති බව මම අවබෝධ කර ගතිමි.

මාගේ මිතුරියගේ කරුණාවන්තකම තවත් යාච්ඤාවකට පෙළඹවීමක් මට මතක් කළේය. ඒ පාවුල් විසින් තරුණ මිෂනාරී මිතුරා වන තිමෝතිට දුන් උපදෙසකි. “…. සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි” (1 තිමෝති 2:1). “සියල්ලන්ට පළමුවෙන්” යන වැකිකඩ පෙන්වන්නේ අති ප්‍රමුඛතාවයයි. අපේ යාච්ඤා වැදගත් බව පාවුල් විස්තර කරයි. ඊට හේතුව “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව (යේසුස්වහන්සේ ගැන) දැන ගැනීමට දෙවියන්වහන්සේ කැමති” නිසාය (4 පදය).

දෙවියන්වහන්සේ මැණිය නොහැකි මාර්ගවලින් විශ්වාසවන්ත යාච්ඤා වලට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වන සේක. ඒ අන් අය දිරිමත්කර ඔවුන්ව තමන්වහන්සේ වෙත ළංකර ගන්නා පිණිසය. යමෙකු අපට මතක්වන විට ඔහු/ඇය ඉන්න තත්ත්වය අප නොදන්නවා විය හැකිය. නමුත් දෙවියන්වහන්සේ දන්නා සේක. අපි යාච්ඤා කරන කල උන්වහන්සේ ඒ පුද්ගලයාට උපකාර කරන සේක.