1956 දී හුවොරානි ගෝත්‍රිකයන් විසින් ජිම් එලියට් සහ තවත් මිෂනාරිවරු සතර දෙනෙකු මරා දැමුවත් ඊළඟට සිදුවූ දෙය කිසිවෙක් බලාපොරොත්තු නොවූහ. ජිම්ගේ භාර්්‍යයාව වන එලිසබෙත්ද ඔවුන්ගේ තරුණ දියණියද තවත් මිෂනාරි සහෝදරියක්ද තම ප්‍රියයන් මරා දැමූ අය අතරට ගොස් ජීවත්වීමට තීරණය කළෝය. ඔවුහු වසර ගණනක් හුවෝරානි ජනයා අතර ජීවත් වෙමින් ඔවුන්ගේ භාෂාව ඉගෙන ගෙන බයිබලය ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළහ. මෙම ස්ත්‍රීන්ගේ සමාව දීමේ සහ දයාවේ සාක්‍ෂිය බොහෝ හුවොරානි වරුන්ගේ සිතට කා වැදී ඔවුහු දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැන ගත්තෝය. ඔවුන්ගෙන් බොහෝ අය යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් හැටියට පිළිගත්හ.

එලිසබෙත් සහ ඇගේ මිතුරිය නපුරට නපුර නොකර යහපතම කිරීම විශිෂ්ඨ ආදර්ශයකි (රෝම 12:17). අපෝස්තලු පාවුල් රෝමයේ සභාව දිරිමත් කළේ දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල කර ඇති පරිවර්තනය ඔවුන්ගේ ක්‍රියාවලින් පෙන්නුම් කරන ලෙසටය. පාවුල්ගේ සිතෙහි ක්‍රියාකළේ කුමක්ද? ස්වාභාවික ක්‍රමය වන පළිගැනීමෙන් එහාට ඔවුන් යා යුතු විය. පළිගැනීම වෙනුවට සතුරාගේ අවශ්‍යතාවයන් වන ආහාර හෝ ජලය සපයා දීමෙන් ඔවුන්ට ප්‍රේමය පෙන්විය යුතුය යන්නය.

මෙය කළ යුත්තේ ඇයි? පාවුල් පරණ ගිවිසුමේ හිතෝපදේශයක් උපුටා දක්වයි. “නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න. පිපාසා නම් ඔහුට වතුර දෙන්න” (120 පදය; හිතෝපදේශ 25:21-22). අපෝස්තලු පාවුල් එළිදරව් කරන්නේ ඇදහිලිවතුන් තම සතුරන්ට දක්වන කරුණාව නිසා ඔවුන්ව දිනාගත හැකි වන අතර ඔවුන්ගේ හදවත් වල පශ්චාත්තාප වීමේ ගින්න අවුළුවාලීමටද හැකි වනු ඇත කියාය.