මාගේ ලැබ්‍රඩෝර් බල්ලාට අවධානය අවශ්‍ය වූ විට ඔහු මට අයත් යමක් රැගෙන මා ඉදිරියෙන් එහාට මෙහාට යන්නේය. එක් උදෑසනක මා පසු පස හැරී යමක් ලියමින් සිටි විට මැක්ස් මාගේ පසුම්බිය රැගෙන දිව ගියේය. මම එය නොදැක්කා යයි සිතා ගෙන ඔහු නැවත අවුත් නාසයෙන් මට තට්ටු කරමින් පසුම්බිය කටේ තබා ගෙන ඇස් නැටවීය. වල්ගය වැනීය. සෙල්ලම් කිරීමට මට හඬ ගැසීය.

මැක්ස්ගේ ක්‍රියාව මට සිනහ ඉපදවීය. එසේම අන් අයට අවධානය දීමේදී මාගේ සීමාවන් මට මතක් විය. බොහෝ විට මම පවුලේ අය සහ මිතුරන් සමග කාලය ගත කිරීමට තීරණය කරමි. නමුත් මාගේ අවධානය සහ කාලය වෙනත් දේවලින් පිරේ. නොදැනීම දවස ගෙවේ. ප්‍රේමය ක්‍රියාවට නොදැමේ.

අපගේ ස්වර්ගීය පියාණෝ ඒතරම් ශ්‍රේෂ්ඨය. අපට ඉතා සමීපව ක්‍රියා කිරීමට උන්වහන්සේට පුළුවන. අප ජීවත් වන තුරා අපගේ පෙනහළුවල ඇති හුස්ම තබා ගැනීමට පවා උන්වහන්සේට පුළුවන. උන්වහන්සේ තම සෙනගට පොරොන්දු වන්නේ “මහලු වයස දක්වාත් මම එසේමය. හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි. මමම නුඹලා දරා ගෙන මමම උසුලා ගලවන්නෙමි” (යෙසායා 46:4).

දෙවියන්වහන්සේට සෑම විටම අප වෙනුවෙන් කාලය තිබේ. අපගේ අවස්ථාවල සෑම දෙයක්ම උන්වහන්සේ තේරුම් ගන්නා සේක. එය කෙතරම් සංකීර්ණ වූවත් අපහසු වූවත් අපි යාච්ඤාවෙන් උන්වහන්සේට හඬ ගසන කල උන්වහන්සේ එතැනය. අපගේ ගැළවුම්කරුවාණන්ගේ අසීමිත ප්‍රේමය ලබා ගැනීමට අපට පෝලිමේ සිටීමට අවශ්‍ය නැත.