අප්‍රිකානු රටක් වන සිම්බාබ්වේ හි යුද්ධ සහ අධික රැකියා විරහිතකම නිසා සෙනග අසරණ වෙති. ඒ ඔවුන්
“මිත්‍රත්ව මේසයක” බලාපොරොත්තුව ලබන තෙක්ය. බලාපොරොත්තු කැඩුණු අයට එහි ගොස් පුහුණුව ලත් ආච්චිලා සමග කථා කළ හැකිය. වැඩිමහල් ස්ත්‍රීන් මානසික අවපාතයෙන් පෙළෙන අයට ඇහුම්කන් දීමට ඉගෙන ගෙන තිබේ. ඔවුන්ගේ භාෂාව වන ෂෝනා භාෂාවෙන් එයට “කුෆුන්ගිසිසා” කියා කියනු ලැබේ. එහි අර්ථය “ඕනැවට වඩා සිතනවා” යන්නය.

මිත්‍රත්ව මේස ව්‍යාපෘතිය අන් තැන් වලද ආරම්භ කර තිබේ. සැන්සිබාර්, ලංඩන් සහ නිව්යේර්ක් නගරයේද දැන් ඒවා තිබේ. “ප්‍රතිඵලවලින් අපි ඉතා ප්‍රීතියට පත් වීමු” කියා ලන්ඩන්හි පර්යේෂකයෙක් කීවේය. නිව්යෝර්ක් අනුශාසක වරයෙකු කීවේ “ඉක්මණින් ඔබට මේසයක සිටින බව අමතක වී ඔබ ගැන සළකන අය සමග උණුසුම් සංවාදයක ඔබ සිටින්නේය යන හැඟීම ඇති වේ” යන්නයි.

ව්‍යාපෘතිය අපගේ සර්ව බලධාරී දෙවියන්වහන්සේ සමග කථා කිරීමේ උණුසුම උද්දීපනය කරයි. මෝසෙස් මේසයක් නොව දෙවියන්වහන්සේ සමග කථා කිරීමට කූඩාරමක් සැදුවේය. එයට සම්මුඛ වීමේ කූඩාරම යයි කියනු ලැබේ. එහිදී “මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට කථා කරන්නාක් මෙන් ස්වාමින්වහන්සේ මෝසෙස් සමග කථා කළ සේක” (නික්මයාම 33:11). ඔහුගේ සහායක යෝෂුවා කූඩාරමෙන් පිටත නොගියේය. ඊට හේතුව දෙවියන්වහන්සේ සමග ගත කරන කාලය ඔහු අගය කළ නිසා විය හැකිය (11 පදය).

අද අපට සම්මුඛවීමේ කූඩාරමක් අවශ්‍ය නැත. යේසුස්වහන්සේ පියාණන්වහන්සේට අපව සමීප කළ සේක. උන්වහන්සේ තම ගෝලයන්ට කීවේ “මාගේ පියාණන්ගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මාගේ මිත්‍රයෝ” කියාය (යොහන් 15:15). එසේය. අපගේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් බලා සිටින සේක. උන්වහන්සේ අපගේ හදවත්වල ණැනවත් උපකාරකයාණෝය. අපගේ තේරුම්ගන්නා මිත්‍රයාණෝය. උන්වහන්සේ සමග දැන් කථා කරන්න.