ඇවිදීමට යන අතර තුර කර්තෘ මාර්ටින් ලෙයාර්ඩ්ට බොහෝ විට කුඩා බල්ලන් සතර දෙනෙකු සමග යන මිනිසෙකු මුණ ගැසේ. බල්ලන් තුන් දෙනෙකු තණකොළ පිට්ටනිය පුරා වියරුවෙන් මෙන් දිව යති. නමුත් එක් බල්ලෙක් අයිතිකරු අසලම රැඳී රවුමට රවුමට කැරකෙමින් සිටියේය. අවසානයේදී ලෙයාර්ඩ් නැවතී මෙම බල්ලාගේ අමුතු හැසිරිම ගැන අයිතිකරුගෙන් විමසීය. මෙම බල්ලා උගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් කූඩුවක සිරවී සිට ඇති අතර ඌව තවමත් කූඩුවක සිර කර ඇතැයි සිතා රවුමෙන් රවුමට යන බව අයිතිකරු පැහැදිලි කළේය.

දේව වචනයේ සඳහන් වන්නේ දෙවියන්වහන්සේ අපව නිදහස් කර නොගත්තේ නම් අපි බලාපොරොත්තු රහිතව සිරවී සිටින බවය. ගීතිකාකරු සතුරන්ගේ පීඩා විඳිමින් පවසන්නේ “මරහුගේ ලණුවලින් වෙළනු ලැබීමි…. මරණයේ මළපත් මා පිටට ආයේය“ (ගීතාවලිය 18:4-5) යනුවෙනි. සිරවී වියවුල් වී ඔහු දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා මොර ගැසුවේය (6 පදය). එසේම දැඩි බලයකින් උන්වහන්සේ පහතට පැමිණ ඔහුව අල්ලාගත් සේක (16 පදය).

අපටද එසේම කිරීමට දෙවියන්වහන්සේට පුළුවන. අපගේ දම්වැල් කඩා දමා අප සිරවී සිටින කූඩුවලින් අපව මුදවා ගැනීමට හැකිය. අපව නිදහස් කර “විශාල ස්ථානයකට” ගෙන යාමට උන්වහන්සේට පුළුවන (19 පදය). අපි තවමත් අපගේ පැරණි සිරගෙදර සිටිනවාක් මෙන් අපි කුඩා රවුමක දුවමින් සිටීම කෙතරම් ඛේදනීයද? උන්වහන්සේගේ ශක්තිය නිසා අප තවදුරටත් භයින්, ලැජ්ජාවෙන් හෝ පීඩනයෙන් හෝ සිරවී නොසිටිමු. එම මරණීය කූඩුවලින් දෙවියන්වහන්සේ අපව නිදහස් කර ගෙන තිබේ. අපට නිදහසේ දිවිය හැකිය.