වසර කිහිපයකට පෙර මාගේ පුත්‍රයන් සමග මම උතුරු ඉඩාහෝ ප්‍රදේශයේ විනෝද ගමනක් සඳහා වනාන්තරයකට ගියෙමි. එය දුඹුරු වලසුන්ගේ නිජ බිමකි. අපි වලසුන් ඈත් කර තබන ආලේපනයන්ද රැගෙන ගියෙමු. අපගේ කඳවුර පිරිසිදුව තබා ගතිමු. එසේ වලසුන්ගේ ආක්‍රමණයන් බලාපොරොත්තු නොවූයෙමු.

එක් රාත්‍රීයකදී රැන්ඩි තම බූරු ඇඳින් බැසීමට දඟලනවා මට ඇසුණි. මම මාගේ විදුලි පහන සොයා ඒ දෙසට එය යොමු කළෙමි. මම සිතුවේ ඔහු වලසෙකුගේ ග්‍රහණයට හසුවී ඇත කියාය.

නමුත් මා දුටුවේ පසුපස පාදවලින් සිට ගෙන ඉදිරිපස පාද එහේ මෙහේ වනමින් සිටි ඌරු මීයෙකි. මීයා රැන්ඩිගේ තොප්පිය කටින් අල්ලා ගෙන සිටියේය. මීයා දඟලලා දඟලලා රැන්ඩිගේ හිසේ තොප්පිය ඔහුගේ හිසෙන් ගළවා ගෙන තිබුණි. මම සිනහවෙන විට මීයා තොප්පිය දමා පැන දිවීය. අපි නැවත නින්දට ගියෙමු. මා කලබල වී සිටි නිසා මට නින්ද ගියේ නැත. තවත් එවැනි ආක්‍රමණිකයෙක් වන සාතන් ගැන මම කල්පනා කළෙමි.

යේසුස්වහන්සේට යක්‍ෂයා ගෙන ආ පරීක්‍ෂාවන් ගැන කල්පනා කර බලන්න (මතෙව් 4:11). සාතන් තම තර්ක ගෙන ආවේ දේව වචනයෙනි. ඒ සෑම කාරණාවක් ගැනම දෙවියන්වහන්සේ කථා කර ඇතැයි තමන්ටම සිහිපත් කර ගත් යේසුස්වහන්සේ සෑම පිළිතුරක් සමගම දෙවියන්වහන්සේට කීකරු වූ සේක. ඒහෙයින් යක්‍ෂයා පැන ගියේය.

සාතන් අපව ගිළ ගැනීමට මාන බලතත් යක්‍ෂයාවද අර මීයා මෙන් මවන ලද ප්‍රාණියෙකු බව අප දැන ගැනීම හොඳය. යොහන් පැවසුවේ “ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම්ය” කියාය (1 යොහන් 4:4).