2018 ලෝක කුසලානය අතර තුර පෝලන්තයට එරෙහිව කොලොම්බියානු ඉදිරිපෙළ ක්‍රීඩක රදමෙල් ෆැල්කාඕ දහහත්වන විනාඩියේදී ගෝලයක් ලබාගත්තේය. ඒහෙයින් ඔවුන්ට ජය ලැබුණි. ඒ අනර්ඝ ගෝලය ජාත්‍යන්තර තරඟවලදී ඔහු ලබා ගත් තිස්වන ගෝලයයි. ජාත්‍යන්තර තරඟවලදී කොලොම්බියානු ජාතිකයෙක් ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාවට ඔහු හිමිකම් කියන්නේය.

ෆැල්කාඕ තම ඇදහිල්ල ප්‍රකාශ කිරීමට පාපන්දු පිට්ටනිය භාවිතා කරයි. සෑම ගෝලයකට පසු ඔහු තම ජර්සිය ඔසවා යට ඇති කමිසයෙහි ගසා ඇති “කොන් ජීසස් නුන්කා එස්තාරා සෝලෝ” යන වැකිය පෙන්වයි. එහි අර්ථය වන්නේ “යේසුස්වහන්සේ සමග ඔබ කිසි විටෙක තනිවන්නේ නැත” යන්නයි.

ෆැල්කාඕගේ ප්‍රකාශය යේසුස්වහන්සේගේ ස්ථිර පොරොන්දුවක් අපට මතක් කරයි. “මමද ලෝකාන්තිමය දක්වා සෑමකල්හිම නුඹලා සමග සිටිමි” (මතෙව් 28:20). උන්වහන්සේ ස්වර්ගයට යන බව දැන යේසුස්වහන්සේ තම ගෝලයන් සැනසුවේ උන්වහන්සේගේ ආත්මයේ අභිමුඛය සමගින් උන්වහන්සේ සෑම විටම ඔවුන් සමග සිටින බවට සහතික කරමිනි (20 පදය; යොහන් 14:16-18). ඔවුහු යේසුස්වහන්සේගේ පණිවුඩය අසල සහ දුර ඇති නගරවලට ගෙන යද්දී ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට සහනයද මග පෙන්වීමද ආරක්‍ෂාව සහ බලයද දෙන සේක. නොදන්නා ස්ථානවල ඔවුහු තනිකමක් අත්දකිනා විට ක්‍රිස්තුස්වහන්සේගේ වචන ඔවුන්ගේ කන්වල දෝංකාර දෙමින් උන්වහන්සේගේ අභිමුඛය ඔවුන් සමග බව සිහිපත් කරනු ඇත.

අප කොහේ ගියද නිවස අසල හෝ ඈතක හෝ නොදන්නා තැන් වල හෝ අප යේසුස්වහන්සේ අනුව යන්නේ නම් අපටද එම පොරොන්දුව අල්ලා ගත හැකිය. තනිකමේ හැඟීම අප අත්දකින විට පවා අපි යාච්ඤාවෙන් යේසුස්වහන්සේ වෙතට එන විටදී උන්වහන්සේ අප සමග බව දැනගැනීමෙන් අපි සහනයක් ලබා ගන්නෙමු.