1979 දී ආචාර්ය ගේබ්‍රියෙල් බාර්කේ සහ ඔහුගේ කණ්ඩායම යෙරුසලමේ කනත්තක තිබී රිදී වර්ණ හකුලන පොත් දෙකක් සොයා ගත්තේය. වසර විසි පහක දැඩි නිරීක්‍ෂණ වලින් පසු 2004 දී විද්වතුන් ස්ථිර කළේ ඒවා දැනට ඇති පැරණිම බයිබලීය පිටපත් කියාය. ඒවා වළලා ඇත්තේ ක්‍රි.පූ. 600 දීය. එම පොත්වල සඳහන් දේවල් මගේ සිතට වැදුණේය. ඒ තම සෙනග මත දෙවියන්වහන්සේ වැගිර වීමට බලාපොරොත්තු වූ පූජක ආශිංසනයයි. “ස්වාමින්වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්‍ෂා කරන සේක්වා. ස්වාමින්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණා කරන සේක්වා” (ගණන් කථාව 6:24-25).

මේ ආශිංසනය දෙමින් දෙවියන්වහන්සේ මෝසෙස් තුළින් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පෙන්වූයේ උන්වහන්සේ වෙනුවෙන් සෙනගට ආශීර්වාද කරන ආකාරයයි. දෙවියන්වහන්සේ කැමති ආකාරයට ජනතාවට කථා කරන පිණිස නායකයින් විසින් දෙවියන්වහන්සේ දුන් ආකාරයට වචන කටපාඩම් කර ගත යුතු විය. ආශිර්වාද කරන්නේ දෙවියන්වහන්සේම බවට මෙම වචන අවධාරණය කරන ආකාරය බලන්න. එහි තුන්වරක් “ස්වාමින්වහන්සේ” කියාද සය වරක් “නුඹ” කියාද කියවේ. එයින් තමන්වහන්සේගේ ප්‍රේමය සහ පිහිට සෙනගට ලබා දීමට දෙවියන්වහන්සේ තුළ ඇති අවශ්‍යතාවය පෙන්නුම් කෙරේ.

මොහොතකට මෙනෙහි කරන්න, පැරණිම බයිබල් පිටපත් පවසන්නේ ආශිර්වාද කිරීම දෙවියන්වහන්සේගේ ආශාවය. දෙවියන්වහන්සේගේ අසිමිත ප්‍රේමය සහ අප සමග සම්බන්ධතාවයෙන් සිටීමට උන්වහන්සේට ඇති ආශාව ගැනද කිණම් මතක් කිරීමක්ද! දෙවියන්වහන්සේගෙන් ඈත්වී ඇතැයි අද ඔබට සිතෙනවා නම් මෙම පැරණි වදන් තදින් අල්ලා ගන්න. ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබ ආරක්‍ෂා කරන සේක්වා.