“මේ වෙලාවේදී ඔබ මෙහි සිටින්නේ නැහැ. පුදුමයි. කවුරු හරි උඩ ඉඳන් ඔබ දෙස බලා සිටින්න ඇති” කියා ඇදගෙන යන වාහනයේ රියැදුරා අපගේ මෝටර් රථය භයානක පල්ලමේ සිට ගොඩ ගත් පසු මාගේ මවට කියා තිබේ. එසේ කියා ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ටයර් පාරවල් පිරික්සා බලමිනි. එකල මා සිට ඇත්තේ ඇගේ ගර්භයෙහිය. මා හැදී වැඩෙන කාලයේ ඇය අප දෙදෙනාගේ ජීවිත දෙවියන්වහන්සේ ගැළවූ ආකාරය ගැන බොහෝ වර පැවසුවාය. එසේම මා ඉපදෙන්නටත් පෙර දෙවියන්වහන්සේ මට වටිනාකමක් දුන් බව ඇය මට සහතික කළාය.

අපගෙන් කිසිවෙක් අපගේ සර්වඥ (සියල්ල දන්නා) මැවුම්කරුවාණන්ගේ දැක්මෙන් ඉවත් නොවේ. වසර 3500 කට පෙර උන්වහන්සේ යෙරෙමියා අනාගතවක්තෘට කීවේ “මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි” (යෙරෙමියා 1:5) කියාය. වෙන කිසිවෙක් අප දන්නවාට වඩා සමීපව දෙවියන්වහන්සේ අපව දන්නා සේක. එසේම වෙන කිසිවෙක්ට කළ නොහැකි සේ අපගේ ජීවිතවලට අරමුණක් සහ අර්ථයක් දීමට උන්වහන්සේට පුළුවන. උන්වහන්සේ තම බලයෙන් සහ ප්‍රඥාවෙන් අප සෑදුවා පමණක් නොව උන්වහන්සේ අපගේ පැවැත්මේ සැම මොහොතක්ම දරා සිටින සේක. අප නොදැනුවත්වම සිදුවන සියලු දේවල්ද අපගේ හදවත් ස්පන්දනයන්ද අපගේ මොලයේ සියලු ක්‍රියාකාරකම්ද උන්වහන්සේ දන්නා සේක. අපගේ පැවැත්මේ සියලු කොටස් දෙවියන්වහන්සේ එකට අල්ලාගෙන සිටීම ගැන ආවර්ජනය කරමින් දාවිත් හඬ නැගුවේ “දෙවියන්වහන්ස ඔබගේ සිතුවිලි මට කොපමණ අනර්ඝද?” (ගීතාවලිය 139:17) කියාය.

අපගේ අවසන් හුස්මටත් වඩා දෙවියන්වහන්සේ අපට සමීපය. උන්වහන්සේ අපව සෑදූ සේක. අපව දන්නා සේක. අපට ප්‍රේම කරන සේක. උන්වහන්සේ අපගේ නමස්කාරයට සහ ප්‍රශංසාවට සෑම විටම යෝග්‍යය.