ෆින් නැමැති සියම් වර්ගයේ සටන්කාමී මත්ස්‍යයෙක් අපගේ ගෙදර වසර දෙකක් ජීවත් විය. මගේ බාල දියණිය ටැංකියට ආහාර දමා ෆින් සමග කථා කරන්නීය. පෙර පාසැලේදී සුරතල් සතුන් ගැන සාකච්ඡාව මතු වූ විට ඇය ඌ තමාට අයිති බව ආඩම්බරයෙන් කියන්නීය. කාලයක් ඇවෑමෙන් ෆින් මිය ගියේය. මාගේ දියණියගේ සිත කැඩුණි.

මාගේ මව මට උපදෙස් දුන්නේ දියණියගේ හැඟීම්වලට සැලකිල්ලෙන් කන් දී “දෙවියන්වහන්සේ ඒ පිළිබඳ සියල්ල දන්නා සේක” කියා කීමටය. දෙවියන්වහන්සේ සියල්ල දන්නා බවට මම එකඟ වීමි. නුමුත් එය සහනයක් දෙන්නේ කෙසේද? මම කල්පනා කළෙමි. එවිට මට වැටහුණේ උන්වහන්සේ අප ජීවිතේ කාරණා දන්නවා පමණක් නොව අපගේ මනසට ඒවා බලපාන ආකාරයද සානුකම්පාවෙන් දකින බවයි. අපගේ වයස, අතීත තුවාල සහ මූලාශ්‍ර නැතිකම නිසා කුඩා දේවල් විශාල දේවල් ලෙස අපට දැනෙන බව උන්වහන්සේ දන්නා සේක.

වැන්දඹුව දීමනා පෙට්ටියට මුදල් දමන විට යේසුස්වහන්සේ ඇගේ තෑග්ගේ නිවැරදි ප්‍රමාණය සහ ඇගේ හදවත දුටු සේක. උන්වහන්සේ ඇයට එය කෙතරම් වටීද යන්න කියා සිටියේ “ගබඩාවට මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය…….මැය තමාගේ හිඟකමින් තමාගේ රක්‍ෂාවීමට තිබුණු සියල්ලම දැමුවාය” (මාර්ක් 12:43-44) යනුවෙනි.

වැන්දඹුව තමාගේ තත්ත්වය ගැන නිශ්ශබ්දව සිටියාය. නමුත් යේසුස්වහන්සේ තේරුම් ගත්තේ අන් අය ඉතා සුළු යයි සළකන දීමනාව ඇයට පරිත්‍යාගයක් වූ බවයි. උන්වහන්සේ අපගේ ජීවිත දෙස බලන්නේද ඒ ආකාරයෙනි. උන්වහන්සේගේ අසීමිත අවබෝධයෙන් අපිට සහනය ලැබේවා!