බීබීසී වීඩියෝවක් වන “ක්‍ෂීරපායින්ගේ ජීවිතය” නැමැති වැඩසටහන මෙහෙයවන ඩේවිඩ් ඇටන්බරෝ ගහකට නැග මහපටැඟිලි තුනක් සහිත “ස්ලොත්” නැමැති සෙමින් යන සතා දෙස මුහුණට මුහුණ බලා ඔහු ඌට “බූ” කියා ශුභ පැතුවේය. ප්‍රතිචාරයක් නැති තැන ඔහු කියන්නේ පහසුවෙන් දිරවන්නේ නැති සහ පෝෂ්‍යදායක නොවන ගස්වල කොළ වලින් පමණක් ජීවත්වන හෙයින් ස්ලොත් සෙමෙන් ගමන් කරන බවයි.

ඉශ්‍රායෙල් ඉතිහාසය නැවත මතක් කරමින් නෙහෙමියා අපට සෙමින් යාමේ තවත් උදාහරණයක් ගැන පවසයි (9:9-21). නමුත් එය හාස්‍යජනක නැත. නෙහෙමියාට අනුව සෙමෙන් යාම ගැන පරම උදාහරණය අපගේ දෙවියන්වහන්සේය – ඒ කෝපය සම්බන්ධයෙනි. නෙහෙමියා නැවත මතක් කරන්නේ දෙවියන්වහන්සේ තම සෙනගට සැලකූ ආකාරයයි. උන්වහන්සේ ඔවුන්ට ජීවනදායක ව්‍යවස්ථාව දුන් සේක. මිසරයේ සිට පැමිණි ගමනේදී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට පොරොන්දු දේශය දුන් සේක (9-15 පද). ඉශ්‍රායෙල් අඛණ්ඩව කැරළි ගැසුවද (16 පදය) දෙවියන්වහන්සේ කෙදිනකවත් ඔවුන්ට ප්‍රේම කිරීම නැවැත්වූයේ නැත. නෙහෙමියාගේ විස්තරය වූයේ අපගේ මැවුම්කරුවාණෝ ස්වභාවයෙන්ම දයාවෙන් පූර්ණ, අනුකම්පාවෙන් පිරි, කෝපවීමට ප්‍රමාද, ප්‍රේමයෙන් උතුරායන දෙවිකෙනෙකු බවය (17 පදය). සෙනගගේ පැමිණිළි, අවිශ්වාසය සහ වසර හතළිහක නොඇදහිල්ල උන්වහන්සේ ඉවසිල්ලෙන් දරා ගැනීමට හේතුව වෙන කුමක්ද? (21 පදය). ඒ උන්වහන්සේගේ අනුකම්පාව නිසාය (19 පදය).

අප ගැන කුමක් කිව හැකිද? කේන්තිය පෙන්වන්නේ ශීතලවූ හදවතකි. නමුත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හදවත අපට ඉවසීමෙන් ජීවත් වීමටද උන්වහන්සේ සමග අන් අයට ප්‍රේම කරන්නටද ඉඩ සලස්වා දෙන්නේය.