එක්සත් ජනපදයේ විශාල ආර්ථික අවපාතය අතරතුර ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පිනියක් වන ඩොරතියා ලෑන්ග් විසින් තම දරුවන් සමග සිටින ෆ්ලෝරන්ස් ඕවන්ස් තොම්සන්ගේ ඡායාරූපයක් ගත්තාය. එම සුප්‍රසිද්ධ ඡායාරූපය වන “සංක්‍රමණික මව” යන්න රටකජු වගාව පාළුවූ බලාපොරොත්තු විනාශ වූ මවකගේ චිත්‍රයකි. ලෑන්ග් එය ගත්තේ කැලිෆෝර්නියාවේ නිපෝමොහිදී ඇය ගොවිපළ ආරක්‍ෂණ පරිපාලනයේ සේවය කළ කාලයේය. ඇයට අවශ්‍ය වූයේ ඒ වාරයේ පමණක් සේවය කරන කුලී සේවකයන්ගේ කර කියා ගත නොහැකි අවශ්‍යතා පෙන්නුම් කිරීමටය.

විලාප ගී පොත බලාපොරොත්තු නටබුන්වූ තවත් ඡායාරූපයක් පෙන්වයි. ඒ යූදාහි විනාශයට පසුවය. නෙබුකද්නේශර්ගේ හමුදාව නගරය විනාශ කිරීමට පෙර සෙනග වටලෑම නිසා සාගින්නට පත්වූහ (2 රාජාවලිය 24:10-11). ඔවුන්ගේ විනාශය වසර ගණනාවක් දෙවියන්වහන්සේට අකීකරු වීම නිසා සිදු වුවද විලාප ගී කර්තෘ ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි බැගෑපත් විය (විලාප ගී 2:11-12).

ගීතාවලිය 107 හි කර්තෘද ඉශ්‍රායෙල් ඉතිහාසයේ බලාපොරොත්තු නැති කාලයක් (පාළුකරයේ ඉශ්‍රායෙල්ගේ ඉබාගාතේ යාම) (4-5 පද) ගැන විස්තර කර අසීරු කාලවලදී ගත යුතු පියවරකට අවධානය යොමු කරයි. “එවිට ඔවුන් තමුන්ගේ විපතේදී ස්වාමින්ට මොර ගැසුවෝය” (6 පදය). එහි ප්‍රතිඵලය කෙතරම් අනර්ඝ වීද? “උන්වහන්සේ ඔවුන්ගේ විපත්වලින් ඔවුන් මුදා ගත් සේක”.

ඔබ කලකිරී සිටින්නේද? නිශ්චලව නොසිටින්න. දෙවියන්වහන්සේට මොර ගසන්න. උන්වහන්සේ අසන සේක. ඔබේ බලාපොරොත්තුව යථා තත්ත්වයට පත් කිරීමට උන්වහන්සේ බලා සිටින සේක. බොහෝ විට අසීරු තත්ත්වයන්ගෙන් උන්වහන්සේ අපව පිටතට නොගත්තද උන්වහන්සේ සැම විටම අප සමග සිටීමට පොරොන්දු වන සේක.