මම මාගේ වත්තට කාරය හරවමින් මාගේ අසල්වැසි මිරීයම්ට සහ ඇයගේ කුඩා දියණිය වන එලිසබෙත්ට අත වැනීමි. වසර ගණනාවක් පුරා, එලිසබෙත් පොරොන්දු වූවාට වඩා දිගු කාලයක් ගන්නා අපගේ කතාබස් වලට පුරුදු වී සිටියේය. සමහර විට ඒවා යාච්ඤා රැස්වීම් බවට පත්වේ. ඇයගේ වත්ත මැද තිබු ගසට නැග පාද සොලවමින් මා සහ ඇයගේ මවගේ කථාව අවසන් වන තුරු ඇය බලා සිටියි. ටික වේලාවකට පසු ඇය ගසින් බිමට පැන අප සිටින දෙසට දිව එයි. ඇය අපගේ අත් අල්ලා ගෙන සිනහ සෙමින් “දැන් යාච්ඤා කරන කාලයයි” කියා ගායනාවක් මෙන් තාලයට කියයි. කුඩා කාලයේදී පවා අපගේ මිත්‍රත්වය තුළ යාච්ඤාව කෙතරම් අවශ්‍ය දැයි එලිසබෙත් ඉගෙන ගෙන තිබුණි.

ඇදහිලිවතුන් හට “ස්වාමින්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහි බලවත් වන්න” කියා (එපීස 5:10) අපෝස්තලු පාවුල් අඛණ්ඩ යාච්ඤාවේ ඇති අතීශය වැදගත්කම ගැන විශේෂ අවබෝධයක් ලබා දෙයි. ඔවුන්ගේ ආත්මික ගමනේදී ඔවුන්ට විමසීම සහ උන්වහන්සේගේ සත්‍යය ගැන ස්ථීරකම දෙන්නාවූ ස්වාමින්වහන්සේ තුළ අවශ්‍ය යුධායුධ ගැන විස්තර පාවුල් ලබා දෙයි (11-17 පද). කෙසේ වෙතත් අපෝස්තලු තුමා අවධාරණය කරන්නේ දෙවියන්වහන්සේ දෙන මේ ශක්තිය වර්ධනය වන්නේ ජීවනදායක යාච්ඤාවේ නිමග්න වීමෙන් බවය (18-20 පද).

අපගේ කාරණා නිර්භීතව පැවසුවද අඬමින් කීවද නිශ්චලව හදවතේ ගැඹුරේ තබා ගෙන සිටියද දෙවියන්වහන්සේ අසන සේක. සළකන සේක. උන්වහන්සේ නැවත නැවත යාච්ඤා කිරීමට ඇරයුම් කරමින් අපව උන්වහන්සේගේ බලයෙන් ශක්තිමත් කිරීමට උන්වහන්සේ නිතර සුදානම්ව සිටින සේක.