1948 දී රහසිගත සභාවක සභාපාලකයෙකු “සුළු ප්‍රශ්න කිරීමකට” කියා අත් අඩංගුවට ගැණුනි. සති දෙකකට පසු ඔහුගෙන් පැය විසිහතර පුරා ප්‍රශ්න කෙරුණි. දින දහයක් ආහාර දෙනු නොලැබීය. තමා චර පුරුෂයෙකු නොවන බව කියන කියන වාරයක් පාසා ඔහුට පහර දෙනු ලැබීය. පොපොව් මෙම දරුණු වේදනාවන් දරා ගත්තා පමණක් නොව අන් සිරකරුවන්ද යේසුස්වහන්සේ වෙත ගෙන ආවේය. අවසානයේ වසර එකොළහකට පසුව ඔහුව නිදහස් කෙරුණි. ඔහු අඛණ්ඩව තම ඇදහිල්ල ප්‍රකාශ කළේය. වසර දෙකකට පසුව ඔහුට රටින් පිටවීමට අවසර ලැබුණු අතර ඔහු තම පවුලේ අය සමග එකතු විය. ඉන් පසු වසර වලදී ඔහු දේශනා කරමින් සහ දොර වැසී තිබු රටවලට බයිබල් යැවීම සඳහා මුදල් එකතු කරමින් ගත කළේය.

යුගයන් පුරා මිණිය නොහැකි ඇදහිලිවතුන් මෙන් පොපොව් දුක් වින්දේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල නිසාය. ක්‍රිස්තුස්වහන්සේගේ පීඩාව සහ මරණයට බොහෝ කලකට පෙර උන්වහන්සේ තම අනුගාමිකයන්ට පැවසුවේ “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය” යනුවෙනි (මතෙව් 5:10). උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාද ලද්දෝය” (11 පදය) යනුවෙනි.

“ආශීර්වාද ලද්දෝය” යනුවෙන් යේසුස්වහන්සේ අර්ථවත් කළේ කුමක්ද? උන්වහන්සේ අදහස් කළේ උන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය නිසා ලැබෙන පූර්ණකම, ප්‍රීතිය සහ සහනයටය (4:8-10 පද). පොපොව් ජීවත් වූයේ පීඩාවන් මධ්‍යයේ වුවත් දෙවියන්වහන්සේගේ අභිමුඛය ඔහුට ශක්තිය එන්නත් කරන බව ඔහු දැන සිටි හෙයිනි. පීඩාවේදී අපි දෙවියන්වහන්සේ සමග ගමන් කරන විට අපගේ අවස්ථාවන් කෙසේ වුවත් අපට උන්වහන්සේගේ සාමය අත් දැකිය හැකිය. උන්වහන්සේ අප සමගය.