යේසුස්වහන්සේ අදහන අය නිසා සිත බිඳී සිටි මාගේ මව මම යේසුස්වහන්සේව පිළිගත් වෙලාවේ කෝපයෙන් ප්‍රතිචාර දැක්වූවාය. “එහෙනම් ඔයත් මාව විනිශ්චය කරන්න හදනවාද? ඒක හරි යන්නේ නැහැ”. ඇය දුරකථනය තැබුවාය. වසරක් පුරා මා සමග කථා කිරීම ප්‍රතික්‍ෂේප කළාය. මම දුක් වූයෙමි. නමුත් මට තේරුම් ගියේ මාගේ වටිනාම සම්බන්ධතාවයට වඩා මා දෙවියන්වහන්සේ සමග පවත්වන සම්බන්ධතාවය වඩා වැදගත් බවය. ඇය මාගේ දුරකථන ඇමතුම් ප්‍රතික්‍ෂේප කරන සෑම විටම මම ඇය ගැන යාච්ඤා කළෙමි. ඇයට වඩා හොඳින් ප්‍රේම කිරීමට දෙවියන්වහන්සේගෙන් මම උදව් ඉල්ලුවෙමි.

අවසානයේ අපි සමගි වූයෙමු. මාස කිහිපයකට පසු ඇය පැවසුවේ “ඔබ වෙනස් වෙලා! මම හිතන්නේ යේසුස්වහන්සේ ගැන වැඩිපුර අසන්න මම කැමතියි කියලා” යනුවෙනි. ඊට ටික කලකට පසු ඇය යේසුස්වහන්සේ පිළිගෙන උන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කරමින් ජීවිතයේ ඉතිරි කාලය ගත කළාය.

සදාකාල ජීවනය ලබා ගන්නේ කෙසේදැයි දුවගොස් යේසුස්වහන්සේගෙන් අසා තම වස්තුව අත්හැරීමට අකමැතිව දුකින් ඉවත්වී ගිය තරුණයා මෙන් (මාර්ක් 10:17-22) උන්වහන්සේ අනුගමණය කිරීමට සෑම දෙයක් අත් හැරීමට සිදුවීම ගැන මම අරගල කළෙමි.

දෙවියන්වහන්සේට වඩා විශ්වාසය තැබිය හැකි යයි අප සිතන මිනිසුන් හෝ දේවල් හෝ අත් හැරීම අපහසුය (23-25 පද). නමුත් අප මේ ලෝකයෙහි අත් හරින කිසි දෙයක වටිනාකම යේසුස්වහන්සේගේ සදාකාල ජිවනය නැමති ත්‍යාගයට ඉහළින් නොයන්නේය. සියලු මනුෂ්‍යයන්ගේ ගැළවීම පිණිස අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ කැමැත්තෙන්ම උන්වහන්සේව පූජා කළ සේක. උන්වහන්සේ අපව සමාදානයෙන් වෙළා මිළ කළ නොහැකි අඛණ්ඩ ප්‍රේමයෙන් අපව වැළඳ ගන්නා සේක.