මම ලී බාඕ පසුපස ගියෙමි. මධ්‍යම චීනයේ කඳු අතර තට්ටු සහිත මාවත් වලින් යන විට රෑ බෝ විය. මම මේ මාර්ගයේ කෙදිනකවත් ගොස් නොතිබුණි. දැකිය හැක්කේ මා ඉදිරියෙන් ඇති එක් පියවරක් පමණි. එසේම අපට වමින් තිබූ බෑවුමේ ගැඹුර මම නොදත්තෙමි. මම ලීට සමීපව ගමන් කළෙමි. අප යන දිසාව හෝ එයට ගතවන කාලය හෝ මම නොදත්තෙමි. නමුත් මම මාගේ මිතුරා විශ්වාස කළෙමි.

මා සිටියේ තෝමස් සිටි තත්ත්වයේමය. සෑම විටම ඔහුට නැවත ස්ථීර කිරීමක් අවශ්‍ය විය. යේසුස්වහන්සේ තම ගෝලයන්ට කීවේ උන්වහන්සේ ඔවුන්ට ස්ථානයක් පිළියෙල කිරීම පිණිස යා යුතු බවත් උන්වහන්සේ යන ස්ථානය ඔවුන් දන්නා බවත්ය (යොහන් 14:4). තෝමස් ඇසුවේ තර්කානුකූල ප්‍රශ්නයකි. “ඔබ කොතැනට යන සේක්දැයි අපි නොදනිමුව. මාර්ගය දන්නේ කොහොමද?” (5 පදය) කියාය.

උන්වහන්සේ ඔවුන්ව ගෙන යන ස්ථානය ගැන කියා යේසුස්වහන්සේ තෝමස්ගේ සැකය සංසිඳෙව්වේ නැත. උන්වහන්සේ ගෝලයන්ට සහතික කලේ උන්වහන්සේ මාර්ගය බවත් එය සෑහෙන බවත්ය.

අපටද අනාගතය ගැන ප්‍රශ්න තිබේ. අප ඉදිරියෙහි ඇති දේවල් ගැන කිසිවක් අපි නොදනිමු. අපට නොපෙනෙන වංගු බොහෝමයකින් අපගේ ජීවිත පිරී පවතී. ඊට කමක් නැත. මාර්ගයද, සත්‍යයද, ජීවනයද වන යේසුස්වහන්සේ දැන ගැනීම අපට ප්‍රමාණවත්ය (6 පදය).

ඊළඟට පැමිණෙන දෙය යේසුස්වහන්සේ දන්නා සේක. උන්වහන්සේ අපගෙන් ඉල්ලන්නේ උන්වහන්සේ අසළින් ගමන් කරන ලෙස පමණි.