ඩෙබී නිවාස පවිත්‍රකරන සමාගමක අයිතිකාරියක් වූවාය. තම ව්‍යාපාරය දියුණු කර ගැනිම පිණිස ඇය සෑම විටම තව තව සේවාදායකයින් සෙව්වාය. ඇයගේ එක් දුරකථන ඇමතුමකදී එක් ස්ත්‍රීයක් කීවේ “මට දැන් එවැනි වියදමක් දරා ගැනීමට හැකියාවක් නැහැ. මම පිළිකාව සඳහා ප්‍රතිකාර ගන්නවා” යනුවෙනි. එතැනදී ඩෙබී තීරණය කළේ “කිසිම පිළිකා රෝගියෙකුව මින්පසු ප්‍රතික්‍ෂේප කරනු නොලැබේ. ඔවුන්ට නොමිළේම නිවාස පවිත්‍ර කිරීමේ සේවයක් ලබා දෙන්නෙමි” කියාය. ඒ හෙයින් 2005 දී ඇය ලාබ නොලබන ආයතනයක් ආරම්භ කළාය. එයට පිළිකාව සමග සටන් කරන කාන්තාවන් වෙනුවෙන් පවිත්‍ර කිරීමේ සමාගම් තම සේවය ලබා දුන්හ. පවිත්‍ර කරන ලද නිවසකට ඇතුල්වී එක් ස්ත්‍රීයක් කීවේ “පිළිකාව පැරදවිය හැකි යයි පළමු වරට මට සිතුණා” යනුවෙනි.

අපට සැළකීම සහ සහයෝගය ලැබේ යැයි දැන ගැනීමෙන් අභියෝගවලට මුහුණ දෙන විට අපට ඉදිරියට යාමට ශක්තිය ලැබේ. දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ සහයෝගය ලැබීම දැන ගැනීමෙන් අපගේ ආත්මය දිරිගැන්වීමට බලාපොරොත්තුවක් ගෙන දිය හැකිය. බොහෝ පරීක්‍ෂාවන් තුළින් යන අයගේ ප්‍රියතම ගීතිකාව වන ගීතාවලිය 46 අපට සිහිපත් කරන්නේ “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය… නිශ්චල වව්. මා දෙවියන්වහන්සේ බව දැනගනිව්…පොළොවෙහි උසස් වන්නෙමි. සේනාවල ස්වාමින්වහන්සේ අප සමගය” කියාය (1, 10-11 පද).

දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ උන්වහන්සේගේ පොරොන්දු අප සමගය යන්න අපටම මතක් කර ගැනීමෙන් අපගේ සිත් අලුත් කර ගැනීමටද එසේම අසීරු අවස්ථා තුළින් යාමට විශ්වාසයද ස්ථීර කමද අපට ගෙන එන්නේය.