ඩැන්ඩි මිනිසුන්ට ගායනා කරමින් ඔවුන් දිරිමත් කරන්නට කැමතිය. එක් දිනක් ඔහුගේ ප්‍රියතම අවන්හලේ අපි දිවා ආහාරය ගනිමින් සිටින විට එහි සේවිකාවට එදා එතරම් යහපත් දවසක් නොවූ බව ඔහුට තේරුම් ගියේය. ඔහු ඇයගෙන් ප්‍රශ්න කීපයක් අසා පසුව ඇයව දිරිමත් කරන්නට ආකර්ෂණීය වේග රිද්ම ගීතයක් හෙමිහිට ගායනා කරන්න පටන්ගත්තේය. අපගේ ආහාර ඇණවුම ලියාගන්නා අතර ඇය සිනාමුසු මුහුණින් “කරුණාවන්ත මහත්මයාණෙනි, ඔබ මගේ දවස ප්‍රීතිමත් එකක් කළා. එයට ඔබට ගොඩක් ස්තුතියි” කියා කීවාය.

අප ශෙපනියාගේ පොත බලන විට දෙවියන්වහන්සේද ගීත ගයන්න කැමති බව අපට පෙනී යන්නේය. අනාගතවක්‍තෘවරයා තම වචන වලින් අලංකාර චිත්‍රයක් අඳිමින් දෙවියන්වහන්සේ තම දරුවන් සමඟ සහ ඔවුන් වෙනුවෙන් ගීතිකා ගයන්නට ආශාවෙන් සිටින සංගීතඥයෙක් ලෙස විදහා දක්වයි. “ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් ඔබ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් ඔබ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.” (17 පදය) යනුවෙන් එතුමා ලියා ඇත. උන්වහන්සේගේ දයාවෙන් පරිවර්තනය වී ඇති අය සමඟ සදහටම සිටින බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක. නමුත් එය එතැනින් නවතින්නේ නැත! “මුළු සිතින් සන්තෝෂ වී ප්‍රීතිමත් වෙන්න” කියා උන්වහන්සේගේ සෙනඟට ආරාධනා කරන සේක. (14 පදය).

යේසුස්වහන්සේ තම ගැළවුම්කරු ලෙස පිළිගත් සියළු දෙනා සමඟත් දෙවියන්වහන්සේ සමඟත් එකට එක්වෙන දවස ගැන අපට සිතින් මවාගැනීමට පමණයි හැකිවන්නේ. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අප වෙනුවෙන් සහ අප සමඟ ගීත ගායනා කරනවා අසන්නටත් උන්වහන්සේගේ ප්‍රේමයද අනුමැතිය සහ පිළිගැනීමද අත්විඳින්නට ලැබීමත් කෙතරම් පුදුම සහගත වන්නේද.