“ද ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්” යන චිත්‍රපටියෙන් අපට කියන්නේ ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කාලයේ නිව්ටන් නයිට්වරයා හමුදාව අතහැර ගිය කණ්ඩායමක් සහ වහල්ලුන් සමහරක් සමග යුනියන් හමුදාවට ආධාර කර යුද්ධයෙන් පසුව වහල් හිමියන්ට විරුද්ධ වුන බවයි. බොහෝ අය නයිට්වරයා වීරයෙක් ලෙස සැළකූ නමුත් ඔහු හමුදාව අතහැර ගිය පසු වහලුන් දෙදෙනෙක් විසින් පළමුව ඔහුගේ ජීවිතය බේරාගන්නා ලදී. හුදෙකලා වගුරුබිමකට ඔහුව ඔසවාගෙන් ගොස් හමුදාවෙන් පැන යන විට ඔහුගේ කකුලකට සිදුවූ තුවාලයකට ඔවුන් සාත්තු කළහ. ඔවුන් ඔහුව අතහැර ගියා නම් ඔහු මිය යන්නට තිබුණි.

යූදයේ සෙනඟ තුවාල වී මංමුළාව සතුරන්ට මුහුණදෙමින් අසරණව සිටියහ. අසිරියාව ඉශ්‍රායෙල් පරාජය කර තිබුණ අවස්ථාවේ ඔවුන්ද (යූදා සෙනඟ) සතුරන් විසින් (එනම් බබිලෝනිය) පරාජය කරන බව යෙසායා අනාගතවක්‍තෘ තුමා කියා තිබුණි. යූදයට අවශ්‍ය වුනේ උපකාර කරන්නාවූ දෙවි කෙනෙකි. ඔවුන්ව අත්නොහරින ඔවුන්ව බේරාගන්නා දෙවි කෙනෙකි. “භයනොවෙන්න; මක්නිසාද මම ඔබ සමඟ සිටිමි” (43:5) යි දෙවියන්වහන්සේගේ සහතික කිරීම ඇසුනු විට ඔවුන්ට දැණුනු නැගී එන බලාපොරොත්තුව සිතින් මවාගන්න. ඔවුන් කුමණ විපතකට මුහුණ දුන්නත් කුමන කරදරයක් දරා සිටින්නට සිදු වූවත් උන්වහන්සේ ඔවුන් සමඟ සිටිනවා ඇත. උන්වහන්සේ ඔවුන් සමඟ “ජල මැදින් ගමන් කරමින්” ඔවුන්ව ආරක්‍ෂාව කරා ගෙනයන සේක (2 පදය). උන්වහන්සේ ඔවුන් සමඟ “ගිනි මැදින් ගමන් කරමින්” ඇවිලෙන ගිනිදැල් තුළින් ඔවුන්ව ගෙන යන සේක (2 පදය).

දේව වචනය පුරාවටම තමන්ගේ සෙනඟ සමඟ සිටින බව දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. ජීවිතයේදීත් හෝ මරණයේදීත් අප ගැන සළකන්නටත් මඟපෙන්වන්නටත් කිසිදා අත්නොහරින්නටත් උන්වහන්සේ පොරොන්දු වන සේක. ඔබ අපහසු තත්ත්වයන්ට පත් වූ විටත් දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටින සේක. ජල මැදින් ගමන් කරන්නට උන්වහන්සේ ඔබට උපකාර කරන සේක.