මම අක්‍ෂි ආරක්‍ෂණය සඳහා කදිම නැරඹුම් ස්ථානයක් සහ නිවසේ සාදන ලද හඳේ හැඩැති කැවිලි ඇතිව සූදානම් වී සිටියෙමි. එක්සත් ජනපදයේ මිලියන ගණනක් සෙනඟ සමඟ මගේ පවුලද ඉතා දුර්ලභ අවස්ථාවක් වන සම්පූර්ණ සූර්යග්‍රහණයක් – එනම් සඳ විසින් සූර්යයා සම්පූර්ණයෙන් වසාගැනීම – නැරඹුවෙමු.

මෙම සූර්යග්‍රහණය සාමාන්‍ය දීප්තිමත් ගිම්හාන දහවලක් අසාමාන්‍ය අඳුරකින් වසාගනු ලැබුවේය. මෙම සූර්යග්‍රහණය අපට විනෝදාත්මක අවස්ථාවක් සහ දෙවියන්වහන්සේගේ මැවීම කෙරෙහි ඇති ඇදහිය නොහැකි බලය පිළිබඳ මතක් කිරීමක් වූවත් (ගීතාවලිය 135:6-7) ඉතිහාසය පුරාවට දහවල් කාලයේ අන්ධකාරය අසාමාන්‍ය සහ අනතුරක් හෝ නපුරක් පිළිබඳ පෙරනිමිත්තක් ලෙස සළකා ඇත (නික්මයාම 10:21; මතෙව් 27:45). සියල්ල තිබිය යුතු ආකාරයෙන් නොවන බවට එය ලකුණක් විය.

පුරාණ ඉශ්‍රායෙලයේ බෙදුණු රාජාණ්ඩුව කාලයේ අනාගතවක්තෘ කෙනෙක් වූ ආමොස් ට අන්ධකාරය සංඛේතවත් කළේ මෙයයි. ඔවුන් තව දුරටත් දෙවියන්වහන්සේගෙන් ඉවතට ගියහොත් ඔවුන්ට විනාශය පැමිණෙන බව ආමොස් උතුරු රාජධානියට අනතුරු ඇඟෙව්වේය. එහි ලකුණක් ලෙස දෙවියන්වහන්සේ විසින් “මධ්‍යහන වෙලාවේ ඉර බසින්නට සළස්වන්නෙමි; මහ දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි” (ආමොස් 8:9) යයි පවසන බව කීවේය..

නමුත් දෙවියන්වහන්සේගේ පරම ආශාව සහ අරමුණ වන්නේ සෑම දෙයක්ම නිවැරදි කිරීමටය. මිනිසුන් පිටුවහල් කරනු ලැබූ අවස්ථාවලදීත් ඉතිරිවූ කොට්ඨාසයක් නැවත යෙරුසලමට ගෙනැවිත් එහි “බිත්තිවල ඇති කපොලු අහුරා නටබුන් ප්‍රතිසංස්කරණය” කරන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක (9:11).

ජීවිතයේ අඳුරුතම අවස්ථාවේදීත් ඉශ්‍රායෙල් මෙන්ම දෙවියන්වහන්සේ සියළු මනුෂ්‍යයන්ට ආලෝකය සහ බලාපොරොත්තුව නැවත ලබා දීමට ක්‍රියාකරමින් සිටින බව දැනගැනීමෙන් අපට සැනසීම ලබා ගත හැකිය (ක්‍රියා 15:14-18).