එක් ගිම්හාන කාලයක මට කළ නොහැකිය කියා සිතිය හැකි කාර්යයකට මුහුණ දෙන්නට සිදු විය – එනම් නියමිත කාලයක් තුළ සම්පූර්ණ කිරීමට තිබූ විශාල ලිවීමේ ව්‍යාපෘතියකි. දිනෙන් දින තනිවම ගත කරමින් පිටුවට වචන ඇතුලත් කරන්නට උත්සාහ කරමින් සිටි මා අධෛර්යමත්වී වෙහෙසට පත්වූයෙමි. මට ඒ කාර්යය අත්හරින්නට පවා සිතුණි. එක් බුද්ධිමත් මිතුරියක් “ඔබට අවසාන වරට ප්‍රබෝධයක් දැනුනේ කවදාද? සමරහ විට හොඳ ආහාර වේලක් ගෙන විවේකීව කාලයක් ගත කරන්නට ඉඩ ලබාගන්න එක යහපති” කියා මට කීවාය.

ඇය නිවැරදි බව එකෙණෙහිම මට තේරුම් ගියේය. ඇගේ උපදෙස් තුළින් මගේ මතකයට ආවේ ජෙසබෙල්ගෙන් එලියාට ලැබුණු භයානක පණිවුඩයයි (1 රාජාවලිය 19:2). නමුත් මගේ ලිවීමේ ව්‍යාපෘතිය අනාගතවක්තෘවරයාගේ අත්දැකීම්වල පරිමාණයට කිසිසේත් සමාන කළ නොහැකිය. එලියා කාමෙල් කන්දේ බොරු අනාගතවක්තෘවරුන් පරාජය කිරීමෙන් පසු ඔහුව අල්ලාගෙන මරා දමන බවට ජෙසබෙල් පණිවුඩයක් යැවීය. එලියා බලාපොරොත්තු සුන් වී මිය යන්නට ආශාවෙන් සිටියේය. නමුත් ඔහු ඒ වෙලාවෙ හොඳ නින්දක් ලබා ගත් අතර දෙවරක්ම දේවදූතයෙක් පැමිණ ඔහුට කන්නට දුන්නේය. දෙවියන්වහන්සේ ඔහුගේ ශාරීරික ශක්තිය අළුත් කළ පසු ඔහුට නැවත ගමන්කරන්නට හැකි වුනි.

අපට “ගමන වෙහෙසකර වැඩි” වූ විට (7 පදය) විවේකයක් ගෙන සෞඛ්‍ය සම්පන්න තෘප්තිමත් ආහාර වේලක් අවශ්‍ය වන්නේය. අප වෙහෙසට පත්ව බඩගින්නෙන් සිටින විට පහසුවෙන්ම බියට පත්වීමට හෝ බලාපොරොත්තු සුන් වීමට හෝ ලක්විය හැකිය. නමුත් මේ බිඳවැටුනු ලෝකයේ දෙවියන්වහන්සේගේ සම්පත් වලින් අපගේ ශාරීරික අවශ්‍යතා හැකි පමණ උන්වහන්සේ සම්පූර්ණ කරන විට උන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය ඊලඟ පියවර ගන්නට අපට හැකි වනු ඇත.