නාසිවරුන් විසින් 50,000කට ආසන්න කාන්තාවන් ඝාතණය කළ රැවන්ස්බ්‍රක් ගාල් කඳවුරේ නටබුන් අතර ගුලිකර දැමු කඩදාසියක මෙම යාච්ඤාව විමුක්තිකාමීන්ට හමු විය: “ස්වාමිනී, හොඳ හිතැතිව ක්‍රියා කළ පුරුෂයින් සහ කාන්තාවන් පමණක් නොව නපුරු සිතැතිව ක්‍රියා කළ අයවද සිහි තබා ගත මැනව. නමුත් ඔවුන් අප මතට පැටවු දුක්විඳීම සිහි තබා නොගන්න. ඒ දුක් විඳීමට ස්තුතිවන්ත වෙන්න අප ලබාගත් ඵල මතක තබාගන්න – අපගේ සහෝදරත්වය, අපගේ පක්‍ෂපාතිත්වය, අපගේ යටත් පහත්කම, නිර්භීතකම, අපගේ ත්‍යාගශිලි බව සහ මෙම තත්ත්‍වයෙන් මුදුන්පත් වූ හදවතේ ශ්‍රේෂ්ඨත්‍වය සිහි තබා ගන්න. ඔවුන් විනිශ්චයට පැමිණෙන කළ අප දරා සිටින සියලුම ඵල ඔවුන්ගේ සමාව වේවා”.

මෙම යාච්ඤාව ලියූ භීතියට පත් කාන්තාව මුහුණ දුන් බිය සහ වේදනාව මට සිතා ගන්නටවත් බැරි තරම්ය. මෙම වචන ලියන්නට ඇයගෙන් නිකුත් වූ පැහැදිලි කළ නොහැකි කරුණාවේ ස්වභාවය මට සිතා ගන්නටත් බැරි තරම්ය. ඇය සිතාගත නොහැකි දේ කළාය. ඇයට පීඩා කළ අයට දෙවියන්වහන්සේගේ සමාව ඉල්ලා සිටියාය.

මෙම යාච්ඤාව ක්‍රිස්තුස්වහන්සේගේ යාච්ඤාවේ දෝංකාරයක් මෙනි. වැරදි ලෙස චෝදනා ලැබ නින්දා අපහාස සහ සෙනඟ ඉදිරියේ සමච්චලයට පත් වීමෙන් පසුව යේසුස්වහන්සේව “වරදකරුවන් දෙදෙනෙක් සමඟ කුරුසියෙහි ඇණ ගැසූහ” (ලූක් 23:33). අපහසුවෙන් හුස්ම ගනිමින් විකෘති වූ ශරීරයක් ඇතිව රළු කුරුසියක එල්ලෙමින් සිටි යේසුස්වහන්සේ තමන්ගේ වධකයන්ට විනිශ්චය හෝ විපාක ලබා දීම හෝ දිව්‍යමය යුක්තිය ප්‍රකාශ කිරිම හෝ කරන්ට ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. කෙසේ වෙතත් සෑම මිනිස් ආවේගයකට පරස්පර විරෝධීව යේසුස්වහන්සේ යාච්ඤා කළේ : “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති” (ලූක් 23:34) කියාය.

යේසුස්වහන්සේ පොරොන්දු වෙන සමාව ඇදහිය නොහැකි දෙයක් ලෙස පෙනේ. නමුත් උන්වහන්සේ එය අපට පිරිනමන්නේ උන්වහන්සේගේ දිව්‍යමය කරුණාව තුළිනි. කිරීමට අපහසු සමාව දීම නොමිළයේ උතුරා යන්නේය.