එක් සෙනසුරාදා දහවලක මගේ පවුලේ අයත් සමඟ දිවා ආහාරය සඳහා අවන්හලකට ගොඩවුනෙමි. එහි සේවකයා කර කර ගා හැපෙන ෆ්‍රයිස් සහ බර්ගර්ස් අපගේ මේසයට බෙදන විට මගේ ස්වාමිපුරුෂයා ඔහු දෙස බලා ඔහුගේ නම ඇසුවේය. ඉන් පසුව “අපි පවුලක් හැටියට කෑම කන්නට පෙර යාච්ඤා කරන්නෙමු. අද දවසේ ඔබ වෙනුවෙන් අපට යාච්ඤා කළ හැකි කිසිවක් තිබේද?” කියා ඔහුගෙන් ඇසුවේය. ඇලන් (දැන් අපි ඔහුගේ නම දැනගතිමු) පුදුමය සහ කනස්සල්ල මිශ්‍ර බැල්මක් අප දෙස හෙලුවේය. කෙටි නිහඬතාවයකින් පසුව ඔහුට කිසිම මුදලක් අතේ නැති බවත් ඔහුගේ වාහනය ක්‍රියාවිරහිත වූ බවත් රාත්‍රියට ඔහුගේ මිතුරාගේ කවිච්චිය මත නිදාගන්නා බවත් කීවේය.

මගේ ස්වාමිපුරුෂයා නිහඬව යාච්ඤා කරමින් ඇලන්ගේ අවශ්‍යතා සපයමින් උන්වහන්සේගේ ප්‍රේමය ඔහුට දක්වන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලන අතරෙදී මට දැනුනේ අප ඔහු වෙනුවෙන් කළ අතරමැදි යාච්ඤාව ශුද්ධාත්මයාණන් අප වෙනුවෙන් මැදිහත් වී අපව දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධ කරන විට සිදුවන දේ හා සමාන බවයි. අපගේ ගැඹුරුම අවශ්‍යතාවන් වලදීද අපට තනිවම ජීවිතයට මුහුණ දෙන්නට බැරි බව තේරුම් ගිය විටද දෙවියන්වහන්සේට කුමක් කියන්නද දන්නේ නැති විටද “ආත්මයාණන්වහන්සේ …… ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන සේක” (රෝම 8:27). ආත්මයාණන් කියන්නේ කුමක්ද යන්න අභිරහසකි. නමුත් එය සෑමවිටම දෙවියන්වහන්සේ අපගේ ජීවිතවලට සැළසුම් කර ඇති දේට සරිලන බවට අපට සහතිකයක් ඇත.

ඔබ ඊළඟ වතාවේ තවත් කෙනෙකුගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම, සැපයීම සහ ආරක්‍ෂාව ඉල්ලා යාච්ඤා කරන විට එම කරුණාවන්ත ක්‍රියාව තුළින් ඔබගේ නම දන්නාවූ ඔබගේ ප්‍රශ්න ගැන කරදර වන දෙවියන්වහන්සේට ඔබගේ ආත්මික අවශ්‍යතාද ඔසවනු ලබන බව මතක තබා ගන්න.