මගේ මිතුරෙක් සමඟ කෙන්යාවේ නයිරෝබි නගරයේ මුඩුක්කුවකට ගිය අවස්ථාවේ අප එතැන දුටු දරිද්‍රතාවයෙන් දැඩි කම්පනයට පත් වුනෙමු. කෙසේ වෙතත් එම පසුබිම තුළම වෙනස් හැඟීමක් එනම් නැවුම් ජලපහරක් වැනි හැඟීමක් ඇතිවුනේ දරුවන් ස්වහිලි භාෂාවෙන් “පාස්ටර්! පාස්ටර්! ” කියා කෑගසමින් දිව එනවා දැකීමෙනි. අපගේ වාහනයේ සිටි ඔවුන්ගේ ආත්මික නායකයා දැකීමෙන් ඔවුන්ගේ ප්‍රීතිමත් ප්‍රතිචාරය එසේ විය. මෙම මොළොක් කෑගැසීම් සමඟ ඒ දරුවන් තමුන් ගැන සැළකිලිමත් වන බව දන්නා තැනැත්තාව පිළිගත්හ.

යේසුස්වහන්සේ කොටළුවෙක් පිට නැගී යෙරුසලමට ඇතුල්වූ විට උන්වහන්සේ සැමරූ අය අතරේ ප්‍රීතිමත් දරුවන්ද සිටියහ. “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා! ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය!” (මතෙව් 21:9). නමුත් යේසුස්වහන්සේට ප්‍රශංසාවන් පමණක් නොවේ එදින ඇසෙන්නට තිබූ එකම ශබ්දය. යේසුස්වහන්සේ විසින් පළවා හරින ලද මුදල් උපයන වෙළඳුන් එහෙ මෙහෙ දුවන ශබ්දය අපට සිතාගත හැකිය (12-13). උන්වහන්සේගේ කරුණාවන්ත ක්‍රියාවන් දැක “කෝප වූ” ආගමික නායකයන් (14-15 පද) දරුවන්ගේ ප්‍රශංසාවන් ගැන අකැමැත්ත ප්‍රකාශ කළහ (16 පදය). එසේ කරමින් ඔවුන්ගේ සිත් තුළ ඇති දරිද්‍රතාවය නිරාවරණය කළහ.

යේසුස්වහන්සේ ලෝකයේ ගැළවුම්කරු ලෙස හඳුනාගන්නා සෑම වයස් මට්ටම්වල සහ සෑම තැනකම සිටින දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ඇදහිල්ලෙන් අපට ඉගෙන ගත හැකිය. අපගේ ප්‍රශංසාවන් සහ හැඬීම් ඇසෙන්නේ උන්වහන්සේටයි. එසේම අපි දරුවෙක් මෙන් විශ්වාස කරමින් උන්වහන්සේ වෙතට පැමිණෙන කළ උන්වහන්සේ අප ගැන සැළකිලිමත් වෙමින් අපව ගළවා ගන්නා සේක.