එකමත් එක කාලයක. ඒ වචන හතර මුළු ලෝකයේම වඩාත්ම බලවත් වචන විය හැකිය. කුඩා දරුවෙක් ලෙස මගේ මුල්ම මතකයන්වල එම ප්‍රබල වචන විවිධාකාරයෙන් අඩංගු වී ඇත. එක් දිනක් මගේ මව, My Good Shepherd Story Book (මගේ යහපත් එඬේරා කතන්දර පොත) යන නමින් වූ අලංකාර චිත්‍ර අඩංගු විශාල බයිබල් කථාන්දර පොතක් රැගෙන ආවාය. සෑම සැන්දෑවකම, පහන් නිවීමට පෙර, ඈත අතීතයේ සිටි සිත්ගන්නා සුළු මිනිසුන් සහ ඔවුන්ට ප්‍රේම කළ දෙවිකෙනෙක් පිළිබඳව ඇය අපට කියවනවා අසන්නට මමත් මගේ සොහොයුරාත් අපේක්‍ෂාවෙන් බලා සිටියා. එම කථාන්දර, අපි මහා විශාල ලෝකය දෙස බැලූ ආකාරය සඳහා වූ කාචයක් මෙන් විය.

මෙතෙක් අවිවාදිත ශ්‍රේෂ්ඨතම කථාන්දරකාරයා? නාසරෙත්හි යේසුස්. අපි හැම කෙනෙක් තුළම කථාන්දර වලට දැඩි ආශාවක් තිබෙන බව උන්වහන්සේ දැන සිටි සේක. එම නිසා උන්වහන්සේගේ ශුභාරංචිය සංනිවේදනය කරන්නට එම මාධ්‍යය උන්වහන්සේ නිරන්තරයෙන්ම භාවිතා කළා. එකමත් එක කාලයක “පොළොවෙහි බීජ වැපිරූ” මිනිසෙක් සිටියේය (මාර්ක් 4:26). එකමත් එක කාලයක “අබ ඇටයක්” තිබුණි (31 පදය) …… යේසුස්වහන්සේ දිනපතා මිනිසුන් සමඟ සම්බන්ධතා වලදී කථාන්දර භාවිතා කළ බව මාර්ක් තුමාගේ ශුභාරංචියේ පැහැදිලිව සඳහන් කර ඇත (34පදය). ඔවුන්ට ප්‍රේමකරන දෙවියන්වහන්සේ පිළිබඳ වඩාත් පැහැදිලිව තේරුම්ගත හැකිවන්නටත්, ලෝකය වඩාත් පැහැදිලිව දකින්නටත්, ඔවුන්ට උපකාර කරන පිණිස උන්වහන්සේ එසේ කළ සේක.

දෙවියන්වහන්සේගේ දයාව සහ කරුණාව පිළිබඳ ශුභාරංචිය බෙදාගන්නට අප ආශාකරන විට මෙය මතක තබාගැනිීම නුවණට හුරු වනු ඇත. කථාන්දර භාවිතය ප්‍රතික්‍ෂේප කළ නොහැකි තරම් ආකර්ෂනීය වනු ඇත.