දෙවියන්වහන්සේගේ කාලයට අනුව, අපගේ පුත් කෝෆි ඉපදුනේ සිකුරාදා දිනකය. ඔහුගේ නමේ අර්ථයත් එසේමයි – සිකුරාදා දින උපන් පිරිමි දරුවා. අපි ඔහුට නම් තැබුවේ ගාහනා ජාතික අපගේ මිත්‍රයෙකු නිසාය. දේවගැතිවරයෙක් වූ එතුමාගේ එකම පුතා මිය ගියේය. එතුමා නිරන්තරයෙන් කෝෆි වෙනුවෙන් යාච්ඤා කරන්නේය. එය අපට විශාල ගෞරවයක් වුනි.

නමක් පිටුපස ඇති කථාන්දරය දන්නේ නැති වූ විට එහි වැදගත් කම ලෙහෙසියෙන්ම මගහැරිය හැකිවන්නේය. ලූක් 3 හි, යෝසෙප්ගේ පෙළපතේ නමක් පිළිබඳ සිත්ගන්නා සුළු විස්තරයක් අපට හමු වේ. ඒ පෙළපත අනුව යෝසෙප්ගේ පරම්පරාව දෙස ආපසු හැරී බලන විට එය ආදම් සහ දෙවියන්වහන්සේ දක්වාද යන අයුරු අපට පෙනේ (38 පදය). 31 පදය මෙසේ කියයි “ඔහු නාතාන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය.” නාතාන්? හරිම පුදුමයි. 1 ලේකම් 3:5 නාතාන් ඉපදුනේ බැත්-ෂුවාගෙන් කියා අපි ඉගෙන ගනිමු.

දාවිත් බැත්-ෂුවාගේ දරුවාට නාතාන් යන නාමය තැබුවේ අහම්බෙන්ද? පසුකථාව මතක්කරගනිමු. බැත්-ෂුවා දාවිත්ගේ භාර්‍ය්‍යාව වන්නට නියම වී තිබුනේ නැත. වෙනත් නාතාන් කෙනෙක් – ප්‍රොපේතවරයෙක් – බැත්-ෂුවාගෙන් අයුතු ප්‍රයෝජන ගෙන ඇගේ ස්වාමිපුරුෂයා මරා දැමීමෙන් තම බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, නිර්භීත ලෙස රජතුමා ගෙන් ප්‍රශ්න කළේය (2 සාමුවෙල් 12 බලන්න).

ප්‍රොපේතවරයා විසින් එක එල්ලේ තරවටු කිරීම දාවිත් භාරගනිමින් ඔහුගේ බිහිසුනු වැරදි ක්‍රියාවන් ගැන පසුතැවිලි වුණේය. කාලයත් සමඟ සුවය ලබමින්, දාවිත් ඔහුගේ පුතාට නාතාන් යන නාමය තැබුවේය. මොහු බැත්-ෂුවාගේ පුත්‍රයා වීම සහ යේසුස්වහන්සේගේ මනුෂ්‍ය පියා වූ යෝසෙප්ගේ මුතුන්මිත්තෙක් වීම කොතරම් යෝග්‍යයිද (ලූක් 3:23).

බයිබලයේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සෑමදෙයක් සමඟම ගෙතී තිබෙනවා අපට හමුවේ – කලාතුරකින් කියවනු ලබන පෙළපතක අප්‍රකට නාමයක පවා. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සෑමතැනම පවතින්නේය.