“මම යේසුස්වහන්සේ විශ්වාස කරමි, එතුමාණන් මාගේ ගැළවුම්කරු, මා මරණයට බිය නොවෙමි”, හිටපු අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ගේ භාර්‍ය්‍යාව බාබරා බුෂ් මිය යාමට පෙර ඇගේ පුත්‍රයාට කීවාය. මෙම විශ්වාස කිරීමට අපහසු සහ එඩිතර ප්‍රකාශයෙන් ඉතා ශක්තිමත් ගැඹුරට මුල් ඇදගත් ඇදහිල්ලක් විදහා දක්වයි. මරණය අභියසදීද, යේසුස්වහන්සේ දැනගැනීමෙන් ලැබෙන සමාදානයේ තිලිණය ඇය අත්දැක්කාය.

පළමුවැනි ශතවර්ෂයේ යෙරුසලමේ වාසය කළ සිමියොන්, යේසුස්වහන්සේ නිසා ගැඹුරු සමාදානයක් අත්දැක්කේය. ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ ඔහු, අලුත උපන් පිරිමි දරුවෙකුට නීතිය මඟින් අවශ්‍යවූ චර්මච්ඡේදනය කිරීම සඳහා මරියා සහ යෝසෙප් යේසු බිළිඳා රැගෙන පැමිණි විට, ඔහු දේවමාලිගාවට පැමිණියේය. සිමියොන් පිළිබඳ වැඩි යමක් සඳහන් වී නැති නමුත්, ලූක්ගේ විස්තරය අනුව ඔහු පැමිණීමට සිටි මෙසියස්තුමා එන තෙක් විශ්වාසවන්තව බලා සිටි, ධර්මිෂ්ඨ සහ භක්තිවන්ත, දෙවියන්වහන්සේගේ විශේෂ කෙනෙක් වූ බව අපට සිතාගත හැකිය. “ශුද්ධාත්මයාණන් ඔහු කෙරෙහි වූ සේක” (ලූක් 2:25). එහෙත් සිමියොන්, යේසුස්වහන්සේ දකින තෙක්, ශාලෝම් (සමාදානය), සම්පූර්ණත්‍වය පිළිබඳ ගැඹුරු හැඟීමක් අත්දැක්කේ නැත.

යේසු බිළිඳා තමන්ගේ දෑතේ රඳවාගෙන සිටි අවස්ථාවේදී, සිමියොන් දෙවියන්වහන්සේ තුළ පූර්ණ තෘප්තිය ප්‍රකාශ කරමින්, ප්‍රශංසා ගීතිකාවක් ගායනා කළේය. “ස්වාමින්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරින සේක….. සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙල කළාවූ ගැළවීම මාගේ ඇස්වලින් දුටිමි” (ලූක් 2:29-31). මුළු ලෝකයේම අනාගත බලාපොරොත්තුව ඔහු මුලින් දුටු නිසා ඔහු සමාදානය අත්දැක්කේය.

පොරොන්දුවූ ගැළවුම්කරු වන යේසුස්වහන්සේගේ ජීවිතය, මරණය සහ නැවත නැඟිටීම අපි සමරන විට, දෙවියන්වහන්සේගේ සමාදානයේ තිළිනය ගැන අප ප්‍රීතිවෙමු.