පසුගිය ගිම්හාන සමයේ ටලේක්වා නමින් කළු සුදු වර්ගයේ තල්මසෙකුට පැටවෙක් උපන්නේය. ටලේක්වා වැනි දරුණු වර්ගයේ තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්වූ මසුන් වර්ගයක් වූ බැවින් ඇගේ පටවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් ඒ පැටවා පැයක්වත් ජීවත් වුනේ නැත. ලොව පුරා මිනිසුන් බලා සිටියදී, ටලේක්වා ඇගේ ශෝකය ප්‍රකාශ කරන පිණිස ඒ මිය ගිය පැටවා අත්හැරීමට පෙර දින දහහතක් පැසිෆික් සාගරයේ සීතල ජලය තුළින් තල්ලු කර ගෙන ගියාය.

සමහර විට යේසුස්වහන්සේ අදහන්නන්ට ශෝකය දැනෙන අවස්ථාවන් වලදී කුමක් කළ යුතු දැයි තේරෙන්නේ නැත. සමහර විට අපගේ ශෝකය බලාපොරොත්තුවක් නැති, අඩුපාඩුවක් සේ පෙනෙයි යයි අපි බිය වන්නෙමු. නමුත් මිනිසුන් ශෝකයෙන් පිරී දෙවියන්වහන්සේට මොරගසන උදාහරන බොහොමයක් දේව වචනයේ අපට දී තිබෙනවා. විලාපය සහ බලාපොරොත්තුව යන දෙකම විශ්වාසවන්ත ප්‍රතිචාරයක කොටසක් විය හැක.

විලාප ගී යනු තම නිවස අහිමිවූ මිනිසුන්ගේ ශෝකය ප්‍රකාශ කරන කවි පහක් අඩංගු පොතකි. සතුරන් ඔවුන් පසුපස හඹා ඇවිත් ඔවුන් මරණාසන්නව සිටියේය (52-54 පද). එමනිසා යුක්තිය ගෙන දෙන ලෙසට ඔවුන් වැලපෙමින් දෙවියන්වහන්සේට කන්නලව් කළෝය (64 පදය). ඔවුන් දෙවියන්වහන්සේට කන්නලව් කළේ බලාපොරොත්තු නැතිවූ නිසා නොව, දෙවියන්වහන්සේ සවන් දෙන බව විශ්වාස කළ හෙයිනි. ඔවුන් හඬගසන විට, දෙවියන්වහන්සේ ඔවුන් වෙතට ළං වන සේක (57 පදය).

ඔබේ ජීවිතයේ හෝ ලෝකයේ බිඳුනාවූ දේ ගැන විලාප දීම වරදක් නොවේ. දෙවියන්වහන්සේ සෑම විටම සවන් දෙන සේක. එමෙන්ම උන්වහන්සේ ස්වර්ගයේ සිට බලා ඔබව දකින බවට ඔබට සහතිකයක් ඇත.