අපගේ යහපැවැත්ම පිළිබඳ හැඟීමට ප්‍රධානතම තර්ජනය එල්ළ වන්නේ තනිකම තුළින්ය. සමාජ මාධ්‍ය තුළ අපගේ හැසිරීම, ආහාර පරිභෝජනය යනාදිය තුළින් අපගේ සෞඛ්‍ය තත්ත්‍වයට එය බලපෑමක් ඇති කරනු ලැබේ. එක් අධ්‍යයනයකින් ඇඟවෙන්නේ සියලු මනුෂ්‍යයන්ගෙන් තුනෙන් දෙකකටම – වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා – කුමන හෝ කාලයක තනිකම දැනෙන බවයි. බ්‍රිතාන්‍යයේ එක් සුපිරි වෙළඳ සැලක, ඔවුන්ගේ ආපන ශාලාවල “කථාකරන මේස” නමින් සංකල්පයක් ආරම්භ කළේ මිනිසුන් අතර සම්බන්ධතාවන් ඇතිකිරීමේ අදහසින්ය. මිනිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්‍වය සොයන අය, ඒ වෙනුවෙන් සූදානම් කර ඇති මේසයක අන් අය සමඟ අසුන්ගැනීම හෝ අන් අයට ආරාධනාවක් පිරිණමන අන්දමින් එහි අසුන් ගැනීම කරති. සම්බන්ධතාවය සහ සමාජයේ කොටස්කරුවන් ලෙස හැඟීමක් ඇතිකරමින් සංවාදයක් සිදු වන්නේය.

මුල් සභාවේ මිනිසුන්ද සම්බන්ධතාවන් බෙදාගැනීමට කැපවී සිටියේය. ලෝකයට තවමත් අලුත්ව තිබූ තම ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමේදී, එකිනෙකා නොමැතිව ඔවුන්ට තනිකමක් දැනෙන්නට ඉඩ තිබුණේය. යේසුස්වහන්සේ අනුගමනය කිරීම යනු කුමක්ද කියා දැනගැනීමට ඔවුන් “ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහි ස්ථිර ලෙස පැවතුනා” පමණක් නොව, අනෝන්‍ය දිරිගැන්වීම සහ සහභාගිකම සඳහා “දවසින් දවස නොකඩවාම එක්සිත්ව දේවමාලිගාවේ සිටිමින්” සහ “ගෙදරදී රොටී කඩමින්” පසුවුණෝය (ක්‍රියා 2:42,46).

අපට මනුෂ්‍ය සම්බන්ධතාවන් අවශ්‍යයි; දෙවියන්වහන්සේ අප මවනු ලැබුවේ එලෙසිනි! වේදනාකාරී තනිකමේ කාලයන් එම අවශ්‍යතාවය පෙන්වා දෙන්නේය. මුල් සභාවේ සෙනඟ මෙන්, අපගේ යහපැවැත්මට අවශ්‍ය වන මිනිස් සහභාගිකමෙහි නිරත වීම වැදගත් වන අතර, එය අවශ්‍ය වන, අප අවට සිටින අයට එය පිරිණැමීමද වැදගත් වනු ඇත.