එක් දිනක් ඉන්ධන පිරවුම් හලකදී, තමන්ගේ බැංකු කාඞ්පත නොමැතිව නිවසින් පිටත්ව සිටි කාන්තාවක් ස්ටේසි ට හමුවුනේය. ඇගේ ළදරුවා සමඟ අතරමංව සිටි ඇය, පසුකර යන්නන්ගෙන් උපකාර ඉල්ලමින් සිටියාය. එවකට රැකියාවක් නොමැතිව සිටියත්, ස්ටේසි ඩොලර් 15ක් වියදම් කර එම නාඳුනන කාන්තාවගේ වාහනයට ඉන්ධන පුරවා දුන්නාය. දින කීපයකට පසු, ස්ටේසි නිවසට පැමිණි විට, ඇගේ දොරකඩ දරුවන්ගේ සෙල්ලම් බඩු සහ තෑගි පිරවූ මල්ලක් තිබෙනවා දුටුවාය. ස්ටේසිගේ කරුණාවන්තකම වෙනුවෙන් ඒ නාඳුනන කාන්තාවගේ මිතුරන් ප්‍රතිචාර දක්වමින්, ඇගේ ඩොලර් 15 ආශිර්වාදය තම පවුලට අමතක නොවන නත්තල් සමයක් බවට පරිවර්තනය කර තිබු බව කියා තිබුණි.

මෙම හද උණුසුම් කරන කථාව, “දීපල්ලා, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.” (ලූක් 6:38) යනුවෙන් යේසුස්වහන්සේ කියා දුන් කාරණය පැහැදිලි කර දක්වයි.

මෙය අසා, දීම තුළින් අපට ආපසු ලැබෙන දේ ගැන අවධානය යොමුකරන්නට පරීක්‍ෂාව පැමිණිය හැකි නමුත්, එසේ කිරීමෙන් එහි මූලික කාරණය අපට මඟහැරෙන්නට ඉඩ ඇත. මේ කියමනට පෙර යේසුස්වහන්සේ මෙසේ කී සේක, “නුමුත් ඔබ සැමගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට ඔබ සැමගේ විපාකය මහත්වන්නේය; ඔබ සැම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.” (35පදය).

අප දෙන්නේ යම් දේ ලබාගන්නට නොවේ. අප දෙන්නේ දෙවියන්වහන්සේ අපගේ ත්‍යාගශීලිකම ගැන සතුටු වන නිසාය. අප අන් අයට දක්වන ප්‍රේමය, උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමණීය හදවත පරාවර්තනය කරන්නේය.