ඔව්හු බොඳවී ගොස් තිබූ ඡායාරූපය දෙස බැලුහ. ඉන්පසු මා දෙසද ඉන්පසු මගේ පියා දෙසද නැවත මා දෙසද නැවත මගේ පියා දෙසද බැලූහ. ඔවුන්ගේ ඇස් පීරිසි මෙන් විශාල විය. “තාත්තා ඔයා සීයා තරුණ කාලයේ සිටියා වගේමයි”. මගේ පියාත් මමත් සිනහසුණේ එය අප බොහෝ කාලයක් පටන් දැන සිටි දෙයක් වූ හෙයිනි. නමුත් මැතක් වන තුරුම මගේ දරුවන්ට එය වැටහුණේ නැත. මාත් මගේ පියාත් වෙනස් මනුෂ්‍යයන් වුවද මා දෙස බලන කල පෙනෙන්නේ මාගේ පියා තරුණ කාලයේ සිටි විධියයි. එනම් : උස සිහින් සිරුරකි. කළු කොණ්ඩයෙන් හිස පිරී තිබුණි. කැපී පෙනෙන නාසයකි. විශාල කන්ය. අනිවාර්යයෙන් මම මාගේ පියා නොවෙමි. නමුත් මම මගේ පියාගේ පුත්‍රයාය.

යේසුස්වහන්සේගේ ගෝලයෙක් වූ පිලිප් දිනක් අසුවේ “ස්වාමිනී පියාණන්වහන්සේ අපට පෙන්වන්න” කියාය (8 පදය). යේසුස්වහන්සේ ඒ ගැන පැවසූ පළමු අවස්ථාව එය නොවූවද උන්වහන්සේගේ ප්‍රතිචාරය නැවතී කල්පනා කිරීමට හේතුවකි. “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය” (9 පදය). මාගෙත් මගේ පියාගෙත් ශාරිරීක සමානත්වය මෙන් නොව යේසුස්වහන්සේ කියන දෙය විප්ලවකාරී වේ. “මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාස කරන්නේ නැත්ද?” (10 පදය). උන්වහන්සේගේ හරය සහ චරිතය පියාණන්ට සමානය.

ඒ අවස්ථාවේ උන්වහන්සේ තම ගෝලයන් සහ අප සමග සෘජුව කථා කළ සේක. “ඔබට දෙවියන්වහන්සේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නම් මා දෙස බලන්න”.