2012 දී පිලිප්ස්, ක්‍රේග් සහ ඩීන් ඔවුන්ගේ “නැවත ස්පන්දනය වන්න යයි ඔබගේ හදවතට කියන්න” යන ගීතය එළි දැක්වූහ. එම ගීතය හදවත් වෛද්‍යවරයෙක්ගේ සත්‍ය කථාවකින් ඉස්මතු විය. රෝගියෙක්ගේ හදවතක් අලුත්වැඩියා කිරීම පිණිස එය ගළවා වෛද්‍යවරයා එය නැවත පපුවේ තබා එයට නැවත ජීවනය දීමට මෘදු ලෙස පිරිමැද්දේය. නමුත් හදවත නැවත ස්පන්දනය වීම ආරම්භ කළේ නැත. ඊට පසු දැඩි පියවර ගනු ලැබීය. කෙසේ වෙතත් හදවත් ස්පන්දනය ඇරඹුණේ නැත. අවසානයේදී වෛද්‍යවරයා සිහි නැතිව සිටි රෝගියා අසළ දණ ගසා “ජොන්සන් මෙනවිය, මම ඔබේ වෛද්‍යවරයායි. ඔබගේ ශල්‍ය කර්මය ඉතා හොඳින් සිදුවුනා. ඔබගේ හදවත අලුත්වැඩියා කර තිබේ. දැන් නැවත ස්පන්දනය පටන් ගන්න කියා ඔබගේ හදවතට කියන්න” යයි කීවේය. ඇගේ හදවත ස්පන්දනය වන්න පටන් ගත්තේය.

අපගේ භෞතික හදවතට යමක් කරන්න යැයි පැවසීම පුදුම සහගතය. නමුත් එයට ආත්මික සමානකම් තිබේ. “එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද?” ගීිතිකාකරු තමාටම කියා ගනිී. “දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව” (ගීතාවලිය 42:5). “මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක“ (116:7) යයි තවත් තැනක ඔහු කියයි. ඉශ්‍රායෙල්ගේ සතුරන් යුද්ධයේදී පරාජය කර විනිශ්චයකාරයෙකු වූ දෙබෝරාද යුද්ධය වෙලාවේදී තම හදවතට කථා කළ බව පවසන්නීය. “එම්බා මාගේ ආත්මය! ශක්තියෙන් ගමනය කරව” (විනි: 5:21) යයි ඇය කීවාය. මක්නිසාදයත් ස්වාමින්වහන්සේ ජයග්‍රහණය පොරොන්වූ හෙයිනි (4:6-7).

හැකියාවන්ගෙන් පූර්ණ අපගේ වෛද්‍යවරයාණෝ අපගේ හදවත අලුත්වැඩියා කර තිබේ (ගීතාවලිය 103:3). ඒ හෙයින් බිය, ආතතිය හෝ හෙළා දැකීම හෝ එන විට අපද අපගේ හදවතට කථා කර “ගමන් කරව, දුර්වල හදවත, ශක්තිමත් වෙව, නැවත ස්පන්දනය වෙව” යයි කිව යුතුය.