ඒ මනුෂ්‍යයාට මිදීමක් නැතැයි සිතේ. ඔහුගේ අපරාධවලට වෙඩි තැබීම් 8 ක්ද (එයින් මරා දැමීම් 6ක්ද) 1970 ගණන් වලදී නිව්යෝර්ක් නගරය භ්‍රාන්ත කරමින් තැබූ ගිනි තැබීම් 1500 ක්ද අඩංගුය. ඔහු පොලිසියට ගරහමින් අපරාධ ස්ථානවල ලිපි තැබීය. කෙසේ හෝ හසුවූ පසුව එක් එක් මිනී මැරුමට ඔහුට වසර විසි පහක සිර දඬුවම් ලැබුණි.

එහෙත් දෙවියන්වහන්සේ මෙම මනුෂ්‍යයාට අත ගැසූ සේක. අද ඔහු දිනපතා බයිබලය කියවන ඇදහිලි වන්තයෙකි. ඔහුගේ වින්දිතයන්ගේ පවුල් වලින් ඔහු අවංකවම සමාව ඉල්ලුවේය. ඔවුන් ගැන අඛණ්ඩව යාච්ඤා කරන්නේය. ඔහු දැන් දශක හතරකට වඩා සිරගතව සිටියද මිදීමක් නැතැයි පෙණුනද මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මිදීමේ ස්ථීර කම ලබා ගෙන සිටින්නේය. “මාගේ නිදහස ඇත්තේ ‘යේසුස්’ යන එක වචනය තුළයි” ඔහු කියන්නේය.

සිතිය නොහැකි තවත් හැරීමක් ගැන දේව වචනය පවසයි. දමස්කයට යන පාරේදී යේසුස්වහන්සේ මුණ ගැසීමට පෙර සාවුල් (පසුව අපෝස්තලු පාවුල්) “තර්ජනය කරමින්ද ඔවුන් මරමියි කියමින්ද” (ක්‍රියා 9:1) ඔබ මොබ ගියේය. එහෙත් සාවුල්ගේ හදවත සහ ජීවිතය යේසුස්වහන්සේ නිසා වෙනස් විය (17-18 පද). ඔහු ඉතිහාසයේ ක්‍රිස්තුස්වහන්සේගේ බලවත්ම සාක්‍ෂිකරු බවට පත් විය. වරක් කිතුණුවන්ගේ මරණය සැලසුම් කළ මනුෂ්‍යයා පසුව බලාපොරොත්තුවේ ශුභාරංචිය පැතිරවීමට තම ජීවිතය කැප කළේය.

මිදීම යනු සෑම විටම දෙවියන්වහන්සේගේ ආශ්චර්යමත් කාර්යයකි. සමහර කථා වඩාත් නාට්‍යානුසාරය. නමුත් එහි සැඟවී ඇති සත්‍යය එකමය. උන්වහන්සේගේ සමාව ලැබීමට අපි කිසිවෙක් සුදුස්සන් නොවෙමු. එහෙත් යේසුස්වහන්සේ බලවත් ගැළවුම්කරුවෙකි. උන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙතට එන අය උන්වහන්සේ සම්පුර්ණයෙන් ගළවන සේක (හෙබ්‍රෙව් 7:25).