සූ ෂී යන නමින්ද හඳුන්වනු ලබන සූ ඩොංපෝ චීනයේ සිටි ශ්‍රේෂ්ඨතම කවියෙක් හා ලේඛකයෙක්ය. ඔහු විප්‍රවාසයේ සිටින දිනක පූර්ණ චන්ද්‍රයා දෙස බලා ඔහුට තම සහෝදරයා නැති පාළුව කෙතරම් දැනෙන්නේදැයි කියා මෙසේ ලිවීය. “අපි සතුටුවෙමු. දුක් වෙමු. එකතු වෙමු. වෙන්වෙමු. සඳ එක් දිනක විශාල වේ. අනික් දින සංකෝචණය වේ. එදා සිටම කිසිම දෙයක් සම්පූර්ණ නැත”. ඔහු තවදුරටත් ලියන්නේ “අපගේ ප්‍රියයන් දිගුකල් ජීවත්වේවා! සැතපුම් ගණනක් ඈතින් සිටියත් එකතුව මේ අලංකාර දර්ශණය භුක්ති විඳීවා!” යනුවෙනි.

ඔහුගේ කවියේ දේශනාකාරයාගේ පොතෙහි ඇති තේමාවක් ගැබ්ව තිබේ. දේශනාකාරයා කර්තෘ ධර්මදේශක ලෙසද හැඳින්වේ (1:1). ඔහු නිරීක්‍ෂණය කරන්නේ “හඬන්නට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය… වැළඳගන්ට කාලයක් සහ වැළඳගැනීමෙන් වැළකෙන්ට කාලයක්ය” (3:4-5) යනුවෙනි. සූ ඩොංපෝ මෙන් ධර්මදේශකද පරස්පර විරෝධි ක්‍රියාවන් දෙකක් සංසන්දනය කරමින් පෙන්වන්නේ සියලු යහපත් දේවල් වල අවසානයක් අනිවාර්යයෙන්ම ඇත කියාය.

සූ ඩොංපෝ සඳෙහි ප්‍රසාරණය සහ සංකෝචණය කිසිවක් සම්පූර්ණ නැති බවට සළකුණක් ලෙස දුටුවද ධර්මදේශක දුටුවේ දෙවියන්වහන්සේ තමා මවා ඇති ලෝකයට තබා ඇති ප්‍රතිපාදන වල නියමයන් ලෙසින්ය. දෙවියන්වහන්සේ කාරණා සමීක්‍ෂණය කරන සේක. “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සළස්වා තිබේ” (11 පදය).

ජීවිතය ගැන අනාවැකි කිව නොහැකිය. සමහර විට එය වේදනාකාරී වෙන්වීම් වලින් පිරී පැවතියත් සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන්වහන්සේගේ බැල්ම යටතේය. මෙම ප්‍රේමණීය දෙවියන්වහන්සේ අප සමග වන හෙයින් අපට ජීවිතයේ හොඳ හෝ නරක හෝ භුක්ති විඳ මොහොතින් මොහොත වටිනා බව තේරුම් ගත හැකිය.