ලෝකයා නොසළකා හරින සෙනග පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේ කැමති වන සේක. විලියම් කේරි 1700 ගණන්වල කුඩා ගමක හැදී වැඩුණි. ඔහු විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ අල්ප වශයෙනි. ඔහු කළ රැකියාවද එතරම් සාර්ථක නොවීය. ඔහු දුගී ජීවිතයක් ගත කළ කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමට ඔහුට බරක් දුන් සේක. ඔහුව මිෂනාරිවරයෙකු ලෙසට කැඳවූ සේක. කේරී ග්‍රීක්, හෙබ්‍රෙව් සහ ලතින් භාෂා ඉගෙන ගෙන පසුව අලුත් ගිවිසුම බෙංගාලි බසට පරිවර්තනය කළේය. අද ඔහු “නූතන මිෂනාරි සේවයේ පියා” ලෙස හැඳින්වේ. ඔහු තම ඥාති පුත්‍රයාට ලියු ලිපියක තම හැකියාවන් ගැන යටහත්ව කියා ඇත්තේ “මම ගාටමින් යමි. අල්ලා ගෙන සිටීමට මට පුළුවන” කියාය.

දෙවියන්වහන්සේ අපව යම් කාර්යයකට කැඳවූ විට අපගේ සීමාවන් අභිබවා එය අවසන් කිරීමට දෙවියන්වහන්සේ අපට හැකියාව දෙන සේක. විනිශ්චයකාරයා පොත 6:12 හි ස්වාමින්වහන්සේගේ දුතයා ගිඩියොන්ට පෙනී ප්‍රකාශ කළේ “ධෛර්යවත් බලවත් මනුෂ්‍යය ස්වාමින්වහන්සේ නුඹ සමග සිටින සේක” යනුවෙනි. දේව දූතයා ඉන්පසු ඔහුට කීවේ ඔවුන්ගේ නගර සහ කුඹුරු විනාශ කරන මිදියන්වරුන්ගෙන් ඉශ්‍රායෙලය බේරා ගන්නා ලෙසය. “බලවත් මනුෂ්‍යයා” යන තානාන්තරය උපයා ගෙන නොතිබූ ගිඩියොන් ඉතා යටහත්කමින් පැවසුවේ “කුමකින් මා ඉශ්‍රායෙලය ගළවා ගනිම්ද? බැලුව මැනව මාගේ පවුල මනස්සෙහි ඉතා දිළිඳු පවුලය” (15 පදය) කියාය. එහෙත් තමන්වහන්සේගේ ජනයා නිදහස් කරන පිණිස දෙවියන්වහන්සේ ගිඩියොන්ව භාවිතා කළ සේක.

ගිඩියොන්ගේ සාර්ථකත්වයේ යතුර නම් “ස්වාමින්වහන්සේ නුඹ සමග සිටින සේක” යන වදන්ය (12 පදය). අප යටහත්ව අපගේ ගැළවුම්කරුවාණන් සමග ගමන් කරමින් උන්වහන්සේගේ ශක්තිය මත යැපෙන විට උන්වහන්සේ තුළින් පමණක් කළ හැකි දේවල් කිරීමට උන්වහන්සේ අපව බලවත් කරන සේක.