පපා ජෝන් නමින් හැඳින් වූ පුද්ගලයෙක් තමාට මාරාන්තික පිළිකාවක් ඇති බව දැනගත් විට ඔහු සහ ඔහුගේ භාර්යයාව වන කැරොල්ට හැඟී ගියේ ඔවුන්ගේ රෝගය පිළිබඳ කථාන්තරය අන්තර්ජාලයට යොමු කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ව කැඳවන බවයි. ඔවුන්ගේ ගැටළුව තුළින් දෙවියන්වහන්සේ ක්‍රියා කිරීමට යන බව දැන තම ප්‍රීතිය සහ වේදනාව වසර තුනක් පුරා ඔව්හු අන් අය සමග බෙදා ගත්තෝය.

තම ස්වාමිපුරුෂයා “යේසුස්වහන්සේගේ දිගු කළ දෑතට ගිය බව” කැරොල් ලියු විට සිය ගණන් ජනතාව ඔවුන්ගේ විවෘතභාවය ගැන කැරොල්ට ස්තුති කරමින් ප්‍රතිචාර දැක්වූහ. එක් පුද්ගලයෙක් සඳහන් කළේ කෙදිනක හෝ “අප සියල්ලෝම මිය යා යුතු හෙයින්” කිතුණු දැක්මකින් මිය යාම යහපත් බවයි. තවත් අයෙකු පැවසුවේ ඔවුන්ව පුද්ගලිකව කිසිම දිනක හමු නොවුනද දෙවියන් මත විශ්වාසය තැබීමේ ඔවුන්ගේ සාක්‍ෂිය නිසා තමන් ලද දිරිය කියා නිම කළ නොහැකි බවයි.

පපා ජෝන්ට සමහර විට දරා ගත නොහැකි වේදනාවක් පැමිණියද ඔහු සහ කැරොල් ඔවුන්ගේ කථාව දිනපතා බෙදා ගත්තේ දෙවියන්වහන්සේ ඔවුන්ව එසවූ ආකාරය ගැන ප්‍රදර්ශනය කිරීමටය. තමන්ගේ සාක්‍ෂිය දෙවියන්වහන්සේ වෙනුවෙන් ඵල දරණ බව ඔව්හු දැන සිටියෝය. පාවුල් වේදනා විඳිමින් තිමෝතිට කී දෙය ඉන් දෝංකාරයට පත් කරන්නේය. “මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන මා උන්වහන්සේට භාර දී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම් කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාස කර ගෙන සිටිමි” (2 තිමෝති 1:12).

උන්වහන්සේ තුළ අපගේ සහ අන් අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අප ප්‍රේම කරන අයෙකුගේ මරණයද භාවිතා කිරීමට උන්වන්සේට පුළුවන. ඒ ක්‍රිස්තුස්වහන්සේ තුළ අප ලැබූ අනුග්‍රහයෙනි (9 පදය). ඔබ අද අසීරුතාවය සහ සිත් වේදනාව අත්දකී නම් සහනය සහ සමාදානය ගෙන ඒමට උන්වහන්සේට හැකි බව දැන ගන්න.