දෙවන ලෝක මහ යුද්ධය අවසන් වී වසර 29කට පසුව හිරු ඔනෝඩා කැලෑවක සැඟවී සිටියේය. තම රට යටත්වූ බව පිළිගැනීමට ඔහු අකැමැති විය. ජපානයේ යුධ හමුදා නායකයෝ ඔනෝඩාව පිලිපීනයේ ලබාන් නැමැති දූපතට සන්ධානගත හමුදාව ගැන ඔත්තු බලන්නෙකු ලෙස යවා තිබුණේය. සාම ගිවිසුමක් අත්සන් කර, සතුරුකම් නතර වී බොහෝ කලකට පසුවත්, ඔනෝඩා තවමත් වනාන්තරයේ සිටියේය. 1974දී ඔනෝඩාගේ අණදෙන නිලධාරියා දූපතට ගොස් ඔහු සොයා යුද්ධය අවසන් බව ඔහුට ස්ථිර වශයෙන් පැවසුවේය.

දශක තුනකට ඔනෝඩා නිසරු හුදෙකලා ජීවිතයක් ගතකලේ යටත්වෙන්නට ඔහුගේ අකැමැත්ත නිසාය. එමෙන්ම සටන අවසන් බව පිළිනොගත් නිසාය. එවැනි වරදක් අප අතින්ද සිදු විය හැකිය. පාවුල් විස්මිත සත්‍යයක් අනාවරණය කරන්නේය. එනම් “ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තිස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේගේ මරණයට බව්තිස්ම ලැබූ බව…..” (රෝම 6:3). යේසුස්වහන්සේ කුරුසිය මත, බලවත්, පුදුමාකාර අන්දමකට සාතන්ගේ බොරු, මරණයේ භීෂණය සහ පාපයේ තදබල ග්‍රහනය මරණයට පත් කළ සේක. අප “පාපයට මැරී” “දෙවියන්වහන්සේට ජීවත්ව” සිටියද (11පදය) බොහෝ විට සිටින්නේ නපුරට තවමත් බලය ඇති අන්දමටය. අප පාපයේ පෙළඹවීමට හසුවී පරික්‍ෂාවට යටත්වන්නෙමුව . අපි යේසුස්වහන්සේ විශ්වාස කිරීමට අසමත් වී බොරුවලට සවන් දෙන්නෙමුව. නමුත් අප යටත් විය යුතු නැත. අපි ව්‍යාජ සිදුවීම් පෙළක ජීවත් වන්නට අවශ්‍යවන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ අපට උන්වහන්සේගේ ජයග්‍රහනයේ සැබෑ කථාන්දරය වැළඳගත හැක.

අප තවමත් පාපය සමඟ පොරබදින අතර, යේසුස්වහන්සේ සටන ජයගෙන ඇති බව තේරුම්ගත් විට අපට විමුක්තිය ලැබෙනවා ඇත. උන්වහන්සේගේ බලයෙන් එම සත්‍යය තුළ ජීවත් වෙමු.