ස්ත්‍රියක් මට නිග්‍රහකර, දොස් තියා මා ගැන ඕපාදූප කී නිසා මාගේ කෝපය උතුරා ගියා. ඇය මට කළ දේ ගැන අන් සියළු දෙනාම දැනගැනීම මට අවශ්‍ය වූවා. ඇගේ හැසිරීම හේතුවෙන් මට දැනුනු වේදනාව ඇයටත් දැනිය යුතු යයි මට සිතුනා. මගේ නළල පුපුරා යන තරම් දැඩි හිසරදයක් ඇති වන තෙක් මාගේ කෝපය බුබුලු දැමීය. එහෙත් මාගේ වේදනාව පහවෙන පිණිස යාච්ඤා කරන්නට පටන් ගත් විට ශුද්ධාත්මයාණන්වහන්සේ මගේ වරද පෙන්වා දුන් සේක. මා දෙවියන්වහන්සේගෙන් සහනය ඉල්ලන අතර පළිගැනීමට සැළසුම් කළ හැක්කේ කෙසේද? උන්වහන්සේ මා ගැන සළකන බව මම විශ්වාස කරන්නේ නම්, මෙම තත්ත්‍වය පාලනය කිරීමට මා උන්වහන්සේ විශ්වාස නොකරන්නනේ මන්ද? සිත් රිදීම් ඇති අය බොහෝ විට අන් අයට රිදවන බව දැනගෙන, එම ස්ත්‍රියට සමාව දී, සමගිවීම පිණිස ක්‍රියාත්මක වන්නට දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටියෙමි.

අසාධාරණ සැලකිලි දරාගනිමින් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමේ අසීරුතාවය දාවිත් ගීතිකාකරු තේරුම්ගත්තේය. ප්‍රේමණීය සේවකයෙක් වීමට දාවිත් උපරිමයෙන් වීර්ය කළ නමුත්, සාවුල් රජතුමාට ඊර්ෂ්‍යාවට යටත් වී ඔහුව මරන්නට අවශ්‍ය වූයේය (1 සාමුවෙල් 24:1-2). දෙවියන්වහන්සේගේ සැළැස්ම ක්‍රියාත්මක කරමින් දාවිත් රජකම භාරගැනීමට සූදානම් කරන අතරතුර, දාවිත් දුක්වින්දේය. එසේ නමුත් පළිගැනීම වෙනුවට දෙවියන්වහන්සේට ගෞරවය දීමට දාවිත් තෝරාගත්තේය (3-7 පද). ඔහු සාවුල් සමඟ සමගිවීමේ පළමු පියවර ගෙන ප්‍රතිඵල දෙවියන්වහන්සේගේ හස්තයට භාර කළේය (8-22 පද).

අන් අය වැරදි කර බේරී යන බව පෙනෙන විට අප අසාධාරණය සමඟ පොරබදින්නෙමු. නමුත් දෙවියන්වහන්සේගේ දයාව අපගේ සහ අන් අයගේ සිත්වල ක්‍රියාත්මක වන විට, උන්වහන්සේ අපට සමාව දුන් ලෙස සමාව දී, උන්වහන්සේ අපට සූදානම් කර ඇති ආශිර්වාද ලබාගැනීමට අපට පුළුවන.