“ඔබේ පියා ක්‍රියාකාරීව මිය යනවා” ගිලන් ගෙයි සාත්තු සේවිකාව පැවසුවාය. “ක්‍රියාකාරීව මිය යනවා” යනු මරණ ක්‍රියාවලියේ අවසන් කොටසයි. එය මට අළුත් වචනයකි. පාළු ගමනාන්තයකට යන පාරක ගමන් කරනවා මෙන් මට දැනුනා. මාගේ පියාගේ අවසන් දිනයේ ඔහුට අපව තවමත් ඇසෙනවාදැයි නොදැන මාගේ සහෝදරිය සහ මා ඔහුගේ ඇඳ අසල වාඩිවුනෙමු. ඔහුගේ අලංකාර තට්ට හිස අපි සිපගත්තෙමු. අපි දෙවියන්වහන්සේගේ පොරොන්දු ඔහුට මිමිණුවෙමු. “ඔබවහන්සේගේ විශ්වාසවන්තකම මහත්ය” යන ගීතිකාව අපි ගායනා කළෙමු. 23වන ගීතාවලිය අපි කියෙව්වෙමු. ඔහු අපගේ පියා වීම ගැන ඔහුට ස්තුති කළෙමු. ඔහුට අපි ආදරය කරන බව පැවසීමු. ඔහුගේ හදවත යේසුස්වහන්සේ වෙත යාමට කැමති බව අපි දැන සිටි නිසා ඔහුට යන්නට අවසර දුන්නෙමු. එම වචන ප්‍රකාශ කිරීම, අප පියා අත්හැරීමේ වේදනාවේ පළමු පියවර වුනේය. විනාඩි කීපයකින් අපගේ පියාව ඔහුගේ සදාකාලික නිවහනට ප්‍රීතියෙන් පිළිගන්නා ලදී.

ප්‍රේමකරන අයෙකුව නිදහස් කිරීමේ අවසන් පියවර වේදනාකාරී අත්දැකීමකි. තමන්ගේ හොඳම මිතුරෙක් වූ ලාසරුස් මිය ගිය විට යේසුස්වහන්සේ පවා කඳුළු හෙලූ සේක (යොහන් 11:35). නමුත් දෙවියන්වහන්සේගේ පොරොන්දු නිසා අපට ශාරිරික මරණයට එහා යන බලාපොරොත්තුවක් තිබෙනවා. ගීතාවලිය 116:15 පවසන්නේ දෙවියන්වහන්සේගේ “විශ්වාසවන්ත සේවකයින්”- උන්වහන්සේට අයිති අය – උන්වහන්සේට “වටින” බවයි. ඔවුන් මිය ගියත් ඔවුන් නැවත ජීවත්වනවා ඇත.

යේසුස්වහන්සේගේ පොරොන්දුව වන්නේ “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය” (යොහන් 11:25-26) යනුවෙනි. දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි අප සදාකාලයටම ඉන්නා බව දැනගැනීම කෙතරම් සහනයක්ද?