සෑම වසරකම තරුණ තරුණියන් මිලියනයකට වැඩි පිරිසක් ජාත්‍යාන්තර ලිපි ලිවීමේ තරඟයකට සහභාගි වෙති. 2018දි තරඟයේ තේමාව වූයේ “ඔබ කාලය තුළින් ගමන් කරන ලිපියක් යැයි සිතන්න. ඔබගේ පාඨකයන්ට දෙන්නට අවශ්‍ය පණිවුඩය කුමක්ද?”.

බයිබලයෙහි ලිපි බොහෝමයක එකතුවක් තිබේ. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය සහ මඟපෙන්වීම නිසා කාලය හරහා අප වෙත ඒවා පැමිණ තිබේ. කිතුණු සභාව වර්ධනය වනවාත් සමඟම, යේසුස්වහන්සේගේ ගෝළයෝ, යුරෝපයේ සහ සුළු ආසියාවේ සභාවල සෙනඟට, ක්‍රිස්තුස්වහන්සේ තුළ අලුත් ජීවිතය තේරුම් ගැනීමට උපකාර වන පිණිස ලිපි ලීවෝය. ඒවායින් බොහෝමයක් බයිබලයෙහි අද ද තිබේ.

මේ ලිපි ලියන්නන්ට පාඨකයන්ට දන්වන්නට අවශ්‍ය වූයේ කුමක්ද? යොහන්ගේ පළමු ලිපියෙහි “පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ. ” ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ සමඟ තිබෙන සම්බන්ධතාවය ගැන ඔහු ලියන්නේය (1 යොහන් 1:1). තම පාඨකයන් එකිනෙකා සමඟද පියාණන් සහ උන්වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස්වහන්සේ සමඟද “සහභාගිත්‍වය තබන” පිණිස ඔහු ලියා ඇත (3 පදය). අප එක්ව සහභාගිකම් පවත්වන විට අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන බව ඔහු පවසයි (4 පදය). බයිබලයේ ලිපි කාලයට එහා යන සදාකාලික දෙවියන්වහන්සේ සමඟ වන සහභාගිත්‍වයකට අප කැඳවයි.