1970 මැයි මාසයේදී ඉංග්‍රීසියෙන් “ඔන් ද බබල්” (වැට උඩ) නැමති ප්‍රස්ථාපිරුළ පළමු වරට භාවිතා විය. එහි අර්ථය අවිනිශ්චිතභාවය යි. එය භාවිතා කරන ලද්දේ හමුදාවට අලුතෙන් බඳවා ගත් කාර් රේස් රියදුරෙකු වන ස්ටීව් ක්‍රිසිලොෆ් සම්බන්ධයෙනි. ඉන්දියානා පොලිස් 500 නම් තරඟයේ ඔහු එක් වටයක් ඉතා සෙමින් අවසන් කර තිබීම හේතුවෙන් “ඔන් ද බබල්” නමින් ඔහු ගැන සඳහන් විය. ඔහුගේ කාලය අනුව තරඟකරුවන් අතරින් ඉතාම සෙමින් පැදවූ රියදුරා ලෙස සඳහන් වූවත්, පසුව අවබෝධ වූයේ ඔහුට ඊළඟ අදියරට සහභාගි වීමට සුදුසුකම් තිබුන බවයි.

ජීවන තරඟය අවසන් කරන්නට හෝ එහි තරඟ කරන්නට අවශ්‍ය ශක්තිය තිබෙන බවට අවිනිශ්චිත බවක් ඇතිවූ සමහර අවස්ථාවල අපත් “වැට උඩ” සිටිනවා යයි දැනිය හැකිය. එසේ සිතෙන විට, යේසුස්වහන්සේ තුළ අප කිසිදිනෙක “වැට උඩ” නැති බව අප මතක තබාගත යුතුය. දේවදරුවන් ලෙස උන්වහන්සේගේ රාජ්‍යයේ අපගේ ස්ථානය සුරක්‍ෂිතව ඇත (යොහන් 14:3). අපගේ දැඩි විශ්වාසය ගලා එන්නේ යේසුස්වහන්සේව මුල් ගල ලෙස තෝරාගත් තැනැත්තා ගෙන්ය. අපගේ ජීවිත ගොඩනැගී ඇත්තේ එම මුල් ගල මත වන අතර උන්වහන්සේ අපව දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පිරුණු “ජීවමාන ගල්” වන පිණිසත්, ඒ හේතුවෙන් දෙවියන්වහන්සේ අරමුණු කරගත් සෙනඟ වන පිණිසත් තෝරාගෙන ඇත (1 පේතෘස් 2:5-6).

අප ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තු ඇතිව උන්වහන්සේ අනුගමනය කරන විට, අපගේ අනාගතය සුරක්‍ෂිතය (6 පදය). මන්ද, අපි “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය” (1 පේතෘස් 2:9) වන්නෙමු.

යේසුස්වහන්සේගේ දෑස් ඉදිරියේ අපි කිසිවිටෙක “වැට උඩ” නැත. අපි උන්වහන්සේට වටින අතර උන්වහන්සේ අපට ප්‍රේමකරන සේක (4 පදය).