ජල සුළිය, වවුල් කෙල්ල, තල්ලු ස්ටාර්ට්. ඒ අප සෑම වසරකම පවුලක් වශයෙන් සහභාගි වන ගිම්හාන කඳවුරේ උපදේශකයින්ට දමා තිබූ නම් ය. ඒවා ඔවුන්ගේ යහළුවන් විසින් සාදා තිබින. සාමාන්‍යයෙන් එවැනි නම් ඇති වෙන්නේ ලැජ්ජාවක් ඇතිවූ සිද්ධියක්, හාස්‍යජනක පුරුද්දක් හෝ ප්‍රියතම විනෝදාංශයක් ඇසුරෙනි.

එවැනි නම් දැමීම කඳවුරු වලට සීමා නොවේ. ඒවා බයිබලයෙහිද අපි දකිමු. උදාහරණයක් ලෙස යේසුස්වහන්සේ යාකොබ් සහ යොහන් අපොස්තුළුවරුන්ට “ගර්ජනාවේ පුත්‍රයෝ” කියා නම් තැබූ සේක (මාර්ක් 3:16). තමන්ටම නම් දීම බයිබලයේ දුලබ නමුත් නයෝමි නම් කාන්තාවක් තමන්ට “මාරා” (තිත්තකම) කියා කථාකරන්න යයි කීවා (රූත් 1:20), මන්ද ඇගේ ස්වාමිපුරුෂයා සහ පුතුන් දෙදෙනාම මිය ගිය නිසාය. දෙවියන්වහන්සේ තමන්ගේ ජීවිතය තිත්ත කර ඇතැයි ඇයට දැනුනාය (21 පදය).

කෙසේවෙතත් නයෝමි ඇයට දමාගත් අලුත් නම වැඩිකල් පැවතුනේ නැත, මන්ද ඒ ඛේදජනක සිදුවීම් ඇයගේ කථාවේ අවසානය නොවුනු නිසාය. ඒ වේදනාව මධ්‍යයෙහි දෙවියන්වහන්සේ ඇයට රූත් නමින් ප්‍රේමණීය ලේලියක් ලබා දුන් සේක. කල්යත්ම රූත් නැවත විවාහ වී පිරිමි දරුවෙකු බිහි කරමින් නයෝමිට නැවතත් පවුලක් ලබාදුන්නාය.

සමහර විට අපට පැමිණෙන අසීරුතා හෝ අප පෙර කළ වැරදි නිසා තික්ත නාමයන් දමා ගැනීමට අපට සිතුණද, එම නම් අපගේ කථාවේ අවසානය නොවේ. දෙවියන්වහන්සේ අපට දී ඇති “ආදරණීය තැනැත්තා” (රෝම 9:25) යන නාමයෙන් අපට ඒ දමාගත් නම් මකා දැමිය හැකිවන අතර ඉතාම අභියෝගාත්මක අවස්ථාවලදී පවා උන්වහන්සේ සපයන මාර්ග දෙස අපට බලා සිටිය හැකි වනු ඇත.