නෝරා සිහින්ය, කුඩාය, එහෙත්, අඩි 6ක් උසැති දරුණු බ්‍රිජට්, ඇය දෙස කෝපයෙන් බලා සිටි නමුත් ඇය බිය වූයේ නැත. අර්බුදකාරි ගර්භණීන්ට පිහිටවන මධ්‍යස්ථානයට ඇය ආවේ කුමකටදැයි බ්‍රිජට් ට කියා ගත නොහැකි විය. ඇයගේ කුසේ සිටි දරුවා නැති කරදැමීමට ඇය ඒ වන විටත් තීරණය කර තිබුණාය. නෝරා මෘදු ලෙසින් ප්‍රශ්න ඇසුවාය. බ්‍රිජට් කෲර රෞද්‍ර ලෙසින් ඒවාට පිළිතුරු දුන්නාය. බ්‍රිජට් යන්නට නැඟිට, තමා කෙසේ හෝ ගබ්සා කරගන්නේ යැයි මුරණ්ඩුකමින් කීවාය.

බ්‍රිජට් සහ දොර අතර කුඩා නෝරා සිටගත්තාය. “ඔබ යන්න ඉස්සෙල්ලා ඔබව සිපගන්නටත්, ඔබට යාච්ඤා කරන්නටත් මට පුළුවන්ද?” නෝරා ඇසුවාය. කිසිවෙකු ඇයව මීට පෙර සුවදායි චේතනා ඇතිව සිපගෙන තිබුණේ නැහැ. හදිසියේම, අනපේක්‍ෂිත ලෙස, බ්‍රිජට්ගේ කඳුළු කඩාහැළිණ.

තම සෙනඟ වන ඉශ්‍රායෙලයට සදාකාලික ප්‍රේමයකින් ප්‍රේමකළ දෙවියන්වහන්සේගේ හදවත නෝරා පෙන්නුම් කළාය (යෙරෙමියා 31:3). දෙවියන්වහන්සේගේ මාර්ගෝපදේශ අඛණ්ඩව උල්ලංඝනය කිරීම නිසා සෙනඟ භයානක ප්‍රතිවිපාක වල පැකිලී සිටියේය. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට පැවසුවේ “දයාබරකමින් ඔබ ඇදගතිමි ……නැවත ඔබ ගොඩනඟන්නෙමි” (යෙරෙමියා 31:3-4) යනුවෙන්ය.

බ්‍රිජට්ගේ ඉතිහාසය සංකීර්ණය. (අප බොහෝ දෙනෙකු මෙන්). එදින සැබෑ ප්‍රේමය ඇයට හමුවන තෙක්, ඇය සිතා සිටියේ දෙවියන්වහන්සේත් උන්වහන්සේගේ අනුගාමිකයනුත් ඇයව හෙළා දමනු ඇති බවය. නෝරා ඇයට යම් වෙනසක් පෙන්වූවාය: දෙවියන්වහන්සේ, සිතාගැනීමට නොහැකි තරමටම අපට ප්‍රේම කරන නිසා, අපගේ පාපය නොසළකා නොහරිනසේක. උන්වහන්සේ අපව විවෘත දෑතින් පිළිගන්නා සේක. අපට පැන දුවන්නට හේතුවක් නැත.