දරුවන් 300ක් ඇඳ පැළඳ උදෑසන ආහාර සඳහා වාඩිවී සිටි අතර එම ආහාර ගැන ස්තුති දීමේ යාච්ඤාවක් පුද කරන ලැබුවේය. නමුත් ආහාර තිබුනේ නැත! එම අනාථ නිවාසයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් මුලර් (1805-1898) හට මෙවැනි අවස්ථා සාමාන්‍ය දෙයක් විය. දෙවියන්වහන්සේ සපයන ආකාරය දැක ගැනීමට මෙය තවත් අවස්ථාවකි. මුලර්ගේ යාච්ඤාව අවසන් වී විනාඩි කීපයකින් පෙර රාත්‍රියෙහි නින්ද නොගිය බේකරි අයිතිකරුවෙක් දොර අසලට පැමිණියේය. අනාථ නිවාසයට පාන් අවශ්‍ය බව ඔහුට වැටහී ඔහු වැඩිපුර පාන් සාදා තිබුණේය. ටික වෙලාවකින් නගරයේ කිරි වෙළෙන්දා පැමිණියා. ඔහුගේ කරත්තය අනාථ නිවාසය ඉදිරිපිටම අකර්මන්‍ය වී තිබිණ. කිරි නරක්වනවාට ඔහුගේ අකැමැත්ත හේතුවෙන් ඒවා මුලර්ට ලබා දුන්නේය.

අපගේ යහපැවැත්මට අවශ්‍ය සම්පත්, එනම් ආහාර, නවාතැන්, නිරොගිකම, මුදල්, මිතුරු සම්බන්ධතා හිඟකම් පැමිණි විට කණස්සල්ල, කාංසාව සහ ස්වඅනුකම්පාව ඇතිවීම ස්වභාවිකය. 1 රාජාවලිය 17:8-16 අපට මතක්කර දෙන්නේ අප නොසිතන ස්ථානයකින් හෝ කෙනෙකුගෙන්, දුප්පත් වැන්දඹුවකගෙන් වාගේ, දෙවියන්වහන්සේගේ උපකාර පැමිණිය හැකි බවයි. “මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත.” (1 රාජාවලිය 17:12). ඊට පෙර එළියාට කපුටන් අවශ්‍ය ආහාර සපයා තිබිණ (4-6පද). අපට අවශ්‍ය දේ සොයාගෙන බොහෝ ස්ථානවලට අප යනවා විය හැකිය. අපගේ අවශ්‍යතා සපයාදෙන්නට පොරොන්දුවී ඇති දෙවියන්වහන්සේ අපගේ සැපයුම් කරුවාණන් බව පැහැදිලි දර්ශනයක් තබාගැනීම සහනය ගෙන දෙන කරුණකි. විසඳුම් සෙවීමට පළමුවෙන් අපි උන්වහන්සේව සොයමු. එවිට අපගේ කාලය, ශක්තිය සහ කලකිරීම ඉතිරි කරගත හැකිවනු ඇත.