වයෝමිං ප්‍රාන්තයේ කුඩා රළු ස්ථානයක් මාත් මාගේ ස්වාමිපුරුෂයාත් නිරීක්‍ෂණය කරන අතරතුර සාමාන්‍යයෙන් අක්කපාන, කහඹිලියා, සහ පතොක් වැනි පැලෑටි වැවෙන ස්ථානයක කුඩා සූරියකාන්ත මලක් මම දුටුවෙමි. එය සාමාන්‍ය සූරියකාන්ත මෙන් උස නැති නමුත් එයද එලෙසම දීප්තිමත් වීම හේතුවෙන් මට සතුටක් දැණින.

එවැනි රළු ස්ථානයක දකින්නට බලාපොරොත්තු නොවන අලංකාර මල මට මතක් කළේ ජීවිතය, සමහර විට යේසුස්වහන්සේ තුළ සිටින අයෙකුගේ පවා, වියළිව, ප්‍රීතියක් නැතිව තිබිය හැකි බවය. කරදර ජයගැනීමට නොහැකි බවක් දැනිය හැකි අතර දාවිත් ගීතිකාකරුගේ මොරගැසීම මෙන් අපගේ යාච්ඤා දෙවියන්වහන්සේට නොඇසේ යයි අපට සිතේ: “ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තර දුන මැනව; මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි” (ගීතාවලිය 86:1). ඔහු මෙන් අපද ප්‍රීතිය ලැබීමට ආශාවෙන් සිටිමු (4පදය).

එහෙත් දාවිත් තවදුරටත් පවසන්නේ අප සේවය කරන්නේ විශ්වාසවන්ත(11පදය), “අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ” (15පදය),උන්වහන්සේට මොරගසන සියල්ලන් හට අතිවිශේෂ ප්‍රේමයක් දක්වන (5පදය), දෙවිකෙනෙකු බවය. උන්වහන්සේ උත්තර දෙන සේක (7පදය).

සමහර අඳුරු ස්ථානවලට දෙවියන්වහන්සේ සූරියකාන්ක මලක් එවන සේක – මිතුරෙකුගෙන් දිරිමත් වචනයක් හෝ ලිපියක්; බයිබලයෙන් සහනය ගෙන දෙන පදයක්; අලංකාර හිරු නැඟ ඒමක් යනාදිය තුළින් අපට බලාපොරොත්තුවක් ඇතිව සැහැල්ලුවෙන් ඉදිරියට යාමට පුළුවන. අපගේ අසීරුතාවයෙන් දෙවියන්වහන්සේගේ මිදීම ලැබෙනතුරු අප ගීතිකාකරු සමඟ “ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය” (10පදය) කියා ප්‍රකාශ කරමු.