මා හඳුනන කාන්තාවක් අසල පිට්ටනියක විශේෂ වැඩසටහනක් සංවිධානය කර අසල්වැසි දරුවන් සියලු දෙනාටම එයට සහභාගි වන ලෙසට ආරාධනා කළාය. තමන්ගේ අසල්වැසියන් සමඟ ඇගේ ඇදහිල්ල බෙදාගැනීමට ලැබීම ගැන ඇය ආශාවෙන් බලා සිටියාය.

තම මිණිබිරියන් තිදෙනාද තවත් උසස් පාසැල් සිසුන් දෙදෙනෙකුද ඇයට උපකාර කරන පිණිස සහභාගි කරවාගෙන ඔවුන්ට වගකීම් භාරදී, ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් කීපයක් සැළසුම් කර, ආහාර සකසා, දරුවන්ට ඉදිරිපත් කරන්නට යේසුස්වහන්සේ පිළිබඳ බයිබල් කථාන්දරයක්ද සූදානම් කර සෙනඟ රැස්වන තුරු බලා සිටියාය.

ඵළමු දිනයේදී එක් දරුවෙක්වත් පැමිණියේ නැත. දෙවන සහ තුන්වන දිනයන්හිද එසේම සිදුවිය. නමුත් සෑම දිනකම මගේ මිතුරිය ඇගේ මිණිබිරියන් සහ හවුල්කරුවන් සමඟ දවසේ ක්‍රියාකාරකම් සියල්ලම කළාය.

4වන දිනයේ පවුලක් අසල ස්ථානයක විනෝද ගමනක යෙදී සිටිනවා දැක එම දරුවන්ට ක්‍රීඩාවලට එකතු වන ලෙසට ආරාධනා කළාය. එක් කුඩා දැරියක් පැමිණ, විනෝද වෙමින්, ඔවුන් සමඟ කෑම කා, යේසුස්වහන්සේ ගැන කථාන්දරයට සවන් දුන්නාය. සමහර විට වසර ගණනාවකට පසු ඇයට එය මතක් විය හැකිය. ප්‍රතිඵලය දන්නේ කවුද? ගලාති පොත තුළින් දෙවියන්වහන්සේ අපව දිරිමත් කරන්නේ “යහපත්කම් කිරීමට මැළිනොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව. එබැවින් අපිට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් කරමු” (ගලාති 6:9-10).

සංඛ්‍යාවන් හෝ සාර්ථකත්‍වයේ වෙනත් දෘෂ්‍යමාන මිනුම් ගැන කරදර නොවන්න. අපගේ වගකීම නම් උන්වහන්සේ අපට පවරන දෙයට විශ්වාසවන්ත වී, අස්වැන්න නෙළීම උන්වහන්සේට භාර දීමය. ප්‍රතිඵල දෙවියන්වහන්සේ තීරණය කරන සේක.